හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන වාණිජ නෞකා ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා බහරේනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වෙයි.
කෙසේ වෙතත්, මෙම යෝජනාවලිය හරහා බලය භාවිතා කිරීමට අවසර ලබා දීමට චීනය සිය දැඩි විරෝධය පළ කර තිබේ.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගේ සහභාගීත්වයෙන් යුත් මෙම විශේෂ හමුව සහ ඡන්ද විමසීම එළඹෙන සෙනසුරාදා උදෑසන පැවැත්වීමට නියමිතව ඇත.
බහරේනය විසින් ඉදිරිපත් කරන ලද මෙම කෙටුම්පත මඟින් වාණිජ නෞකා ආරක්ෂා කිරීම සඳහා "අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන" භාවිතා කිරීමට අවසර ඉල්ලා සිටියි.
බලය භාවිතා කිරීම නීත්‍යානුකූල කිරීම මඟින් පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවත්, එය බරපතල ප්‍රතිවිපාකවලට හේතු විය හැකි බවත් චීනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ප්‍රකාශ කර සිටියේය.
මෙම යෝජනාවලිය සඳහා බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ ගල්ෆ් කලාපීය රටවල සහාය හිමිව තිබුණද, රුසියාව සහ ප්‍රංශය ද මීට පෙර පැවති ඇතැම් එකඟතාවලට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි මස අවසානයේදී එක්සත් ජනපදය සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද ඉහළ ගොස් ඇත.
ඉරානය විසින් ජාත්‍යන්තර මුහුදු ගමනාගමනය පාලනය කිරීමට ගන්නා "නීති විරෝධී උත්සාහයට" එරෙහිව තීරණාත්මක ප්‍රතිචාරයක් අවශ්‍ය බව බහරේන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. මෙම තත්ත්වය NATO තුළ ද නව අර්බුදයකට මඟ පාදා ඇති බව විශ්ලේෂකයෝ පවසති
