හෙස්බුල් සංවිධානයට එරෙහි ප්‍රහාර තීව්‍ර කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයකින් අනතුරුව, ලෙබනනය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය නිවේදනය කර තිබේ. මේ යටතේ නැගෙනහිර ලෙබනනයේ පිහිටි බෙකා නිම්නය ඇතුළු ප්‍රදේශ කිහිපයක හෙස්බුල් ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදාව ප්‍රහාර දියත් කර ඇත.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් ඩ්‍රෝන යානා සහ රොකට් ප්‍රහාර 22ක් එල්ල කළ බව හෙස්බුල් සංවිධානය ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල සේනාංක, යුද ටැංකි, හමුදා බැරැක්ක සහ ගොඩනැගිලි සිය ඉලක්ක බවට පත් වූ බව ඔවුහු පවසති.
මීට පෙර, දින 45ක සටන්විරාමයක් දීර්ඝ කිරීමට ලෙබනනය සහ ඊශ්‍රායලය එකඟ වී තිබුණ ද, තැනින් තැන ගැටුම් වාර්තා විය.
සඳුදා සන්ධ්‍යාවේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු සඳහන් කළේ ඊශ්‍රායලය "හෙස්බුල් සංවිධානය සමඟ යුද්ධයක" පසුවන බවත්, ඔවුන් වෙත "දරුණු ප්‍රහාරයක්" එල්ල කරන ලෙස හමුදාවට උපදෙස් දී ඇති බවත්ය.
"මේ වන විට දියත් කර ඇති හමුදා මෙහෙයුම් මගින් ත්‍රස්තවාදීන් 600කට අධික සංඛ්‍යාවක් තුරන් කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් වී තිබෙනවා. නමුත් වත්මන් තත්ත්වය අනුව අප කළ යුත්තේ ප්‍රහාරයන්හි තීව්‍රතාව සහ වේගය තවදුරටත් ඉහළ නැංවීමයි" යැයි ද නෙතන්යාහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම හමුදා මෙහෙයුම් ලෙබනනයේ අගනුවර වන බේරූට් දක්වා පුළුල් කරන ලෙස ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් වන බෙස්ලෙල් ස්මොට්රිච් සහ ඉටමාරේ බෙන් ග්වීර් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, ඊශ්‍රායලය සටන්විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හෙස්බුල් සංවිධානය දකුණු ලෙබනනයේ සහ උතුරු ඊශ්‍රායලයේ පිහිටි ස්ථාන රැසකට සඳුදා දිනයේදී රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.
නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඉදිරි සාකච්ඡා ලබන සතියේදී වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතය. ලෙබනන ජනාධිපති ජෝසෆ් අවුන් අවධාරණය කරන්නේ ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවයි.
පසුගිය අප්‍රේල් 16 වනදා සටන්විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාර ප්‍රධාන වශයෙන් දකුණු ලෙබනනයට පමණක් සීමා වී තිබුණ ද, සඳුදා රාත්‍රියේ ප්‍රහාර එල්ල වූ සිරියානු දේශසීමාවට ආසන්න බෙකා නිම්නය පිහිටා ඇත්තේ නැගෙනහිර ලෙබනනයේය.
පළමු සටන්විරාම එකඟතාවෙන් පසුව මේ දක්වා ඊශ්‍රායල සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඊශ්‍රායලයේ දරුණු බෝම්බ ප්‍රහාර හමුවේ ලෙබනනයේ වෛද්‍ය සහ හදිසි සහන සේවකයින් ඇතුළු 400කට අධික පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම, දකුණු ලෙබනනයේ වැසියන්ට නිවාසවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දිනපතා නියෝග නිකුත් කිරීම හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.
පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් සමඟ ලෙබනනය ද මෙම කලාපීය ගැටුමට මැදි විය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ මිත්‍ර පාර්ශවයක් වන හෙස්බුල් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළ අතර, ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ලෙබනන රජය හෙස්බුල් සංවිධානය නිරායුධ කිරීමට උත්සාහ කරමින් සිටින නමුත්, එම සංකීර්ණ කාර්යය නිම කිරීම සඳහා සටන්විරාමයක් අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි.
