ඇමරිකාවෙන් ඉරාන තෙල්වලට සම්බාධක වැලක්..


 ඉරාන තෙල් චීනයට ප්‍රවාහනය කිරීම සඳහා සහාය වූ පුද්ගලයින් තිදෙනෙකුට සහ සමාගම් නවයකට සම්බාධක පැනවීමට ඇමරිකානු රජය සඳුදා පියවර ගෙන ඇත.

මෙම සම්බාධකවලට ලක් වූ සමාගම් අතර හොංකොං පදනම් කරගත් සමාගම් හතරක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් හතරක් සහ ඕමානයේ එක් සමාගමක් ඇතුළත් වේ.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් රහසිගත සමාගම් ජාලයක් හරහා සිදුකරන තෙල් අලෙවිය වැළැක්වීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණයි.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් මහතා ප්‍රකාශ කළේ, ඉරාන රජයට සහ එරට හමුදාවට ආයුධ නිෂ්පාදනය, න්‍යෂ්ටික වැඩසටහන් සහ කලාපීය සටන්කාමීන් සඳහා අරමුදල් ලැබීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවයි.

"ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ගෝලීය ආර්ථිකය අස්ථාවර කිරීමට ඉරානය භාවිතා කරන මූල්‍ය ජාලයන් අඩපණ කිරීමට අපි දිගටම කටයුතු කරනවා," යැයි බෙස්න්ට් මහතා වැඩිදුරටත් පැවසීය.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) මූල්‍ය යාන්ත්‍රණයන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 15ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

හොංකොං හි Blue Ocean Ltd සහ Sanmu Ltd වැනි ව්‍යාජ සමාගම් මෙන්ම, ඩුබායි සහ සාජා පදනම් කරගත් නාවික සමාගම් කිහිපයක් ද මෙයට ඇතුළත් වේ. ඕමානයේ Zeus Logistics Group ආයතනය ද ඉරාන තෙල් ප්‍රවාහනය සඳහා නෞකා සූදානම් කිරීමේ චෝදනාව මත සම්බාධකවලට ලක්ව ඇත.

ඉරාන තෙල් මූලස්ථානයේ සේවය කරමින් තුර්කියේ පිහිටි 'Golden Globe' සමාගම හරහා ගෙවීම් සම්බන්ධීකරණය කළ පුද්ගලයින් තිදෙනෙකුට ද සම්බාධක පනවා තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක හමුවකට දින කිහිපයකට පෙරය.

එහිදී, හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඉරානය සමඟ පවතින අර්බුදය විසඳීම සඳහා චීනයේ සහාය ලබා ගැනීමට ට්‍රම්ප් මහතා උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉරාන ප්‍රතිචාරය "පිළිගත නොහැකි" බව ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළ අතර, ඒ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ද ඉහළ ගොස් ඇත.



Previous Post Next Post