ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර තිබුණි.ඉන් ඇප දෙකක් සඳහා ඉදිරිපත් වූයේ සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකාර කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොමැති මෙම පුද්ගලයන් දෙදෙනා, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ 'දේවා' සහ 'තිස්ස' නමැති පුද්ගලයන් දෙදෙනෙකුගේ ඉල්ලීම මත තමන් මෙම මුදල ලබාගත් බවයි. සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත්, අවශ්‍ය මොහොතක සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මොවුන්ට හැකියාවක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට වැටහී යාමෙන් පසු මෙම වංචාව අනාවරණය වී ඇත.
අදාළ ඇපකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පසුගිය 06 වැනිදා නියෝග කළේය.
ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කිරීමෙන් පසු මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට එම ජාලයේ මැදිහත්කරු ලෙස කටයුතු කළ 76 හැවිරිදි පුද්ගලයා ද පොලිස් භාරයට ගෙන තිබේ.