‘හෝමුස්’ හිදී තවත් නෞකාවකට පහර දේ...


 ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමෙරිකානු නාවික අවහිරතා බිඳදමමින් යාත්‍රා කිරීමට උත්සාහ කළ තවත් වෙළඳ නෞකාවක ගමන වැළැක්වීමට ඇමෙරිකානු හමුදාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

AP පුවත් සේවය වෙත අදහස් දක්වමින්, ඇමෙරිකානු උසස් නිලධාරියෙකු මේ බව තහවුරු කර ඇත.

ගැම්බියා රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ ‘ලියන් ස්ටාර්’ (Lian Star) නැමැති මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව, ඉරාන වරායක් වෙත ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් කර තිබේ.

කෙසේ වෙතත්, එම අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් ඕමාන් බොක්කේදී ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා මඟින් නෞකාවේ ධාවන පද්ධතිය අක්‍රිය කර ඇති බව අනාවරණය වේ.

මේ වන විට එම නෞකාව ඕමාන් බොක්ක මුහුදේ පාවෙමින් පවතින අතර, ඇමෙරිකානු හමුදා මෙතෙක් එම නෞකාව වෙත ඇතුළු වී නොමැති බවද නම හෙළි කිරීමට අකමැති වූ එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නවතම මෙහෙයුමත් සමඟ, ඇමෙරිකානු නාවික අවහිරතා කඩ කිරීමට උත්සාහ කිරීමේදී ඇමෙරිකානු හමුදා භාරයට ගත් හෝ පාලනයට නතු කරගත් සමස්ත නෞකා සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ යයි. ඉන් එක් නෞකාවකට පමණක් පසුව ගමන් කිරීමට අවසර ලබා දී ඇත.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයන් සමඟ ආරම්භ වූ යුදමය තත්ත්වය හමුවේ, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගන්නා ලදී. මීට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අප්‍රේල් 17 වැනිදා මෙම නාවික අවහිරතාව පනවනු ලැබීය. අප්‍රේල් 7 වැනිදා සිට කලාපය තුළ බිඳෙනසුලු සටන් විරාමයක් පවතින අතර, ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ නැවත සාකච්ඡා පවත්වන අතරතුර, එම සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව ලෝක ප්‍රජාව මේ වන විට දැඩි අවධානයකින් පසුවෙයි.

ඉරානය සහ ඕමානය අතර පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේ හටගෙන ඇති මෙම අර්බුදකාරී තත්ත්වය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ලෝක වෙළඳපොළට අත්‍යවශ්‍ය බොරතෙල්, ස්වභාවික වායු සහ පොහොර වැනි කෘෂිකාර්මික ද්‍රව්‍ය රැගත් නෞකා විශාල ප්‍රමාණයක් සිරවී පැවතීම හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ලෝක ආහාර නිෂ්පාදකයින්ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

ඇමෙරිකානු අවහිරතාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉරානයේ අපනයන සීමා කරමින් ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර කිරීම සහ ඒ හරහා එරට ආර්ථිකය තවදුරටත් දුර්වල කිරීමයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා දින සිය උපදේශකයින් හමුවී සාකච්ඡා කර ඇති නමුත්, සටන් විරාමය දීර්ඝ කිරීම සහ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. ඉරාන රජයද ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගිවිසුම මෙතෙක් ස්ථිර කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම ගැටුම්කාරී වටපිටාව මධ්‍යයේ වුවද, පෙරට වඩා අඩු මට්ටමකින් වාණිජ නෞකා ගමනාගමනය රහසිගතව සිදුවෙමින් පවතී. තම අනුමැතියකින් තොරව කිසිදු නෞකාවකට ගමන් කළ නොහැකි බව ඉරානය අවධාරණය කරයි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් එරට ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානය සෙනසුරාදා ප්‍රකාශ කළේ,

"මෙම රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම අයෙකුගේ ගමනාගමන ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්වනු ඇති"

යන්නයි. එමෙන්ම ඊට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම විදේශීය මිලිටරි නෞකාවක් තම ඉලක්ක බවට පත්වන බවටද ඔවුහු අනතුරු අඟවති.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ඉරානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් තරම් ඉහළ මුදලක් බදු ලෙස අය කරන බව වාර්තා වේ.

 ජාත්‍යන්තර නාවික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙය ජාත්‍යන්තර මුහුදු ගමනාගමන නීති සහ "නිදහස් හා සාමකාමී මුහුදු ගමනාගමන අයිතිය" බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් සවුද් බින් අබ්දුල්රහ්මාන් බින් හසන් බින් අලි අල් තානි සෙනසුරාදා ප්‍රකාශ කළේ, මෙලෙස මුහුදු ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමට තම රට විරුද්ධ වන බවයි.

කෙසේ වෙතත්, මුහුදු බෝම්බ ඉවත් කිරීම වැනි තාවකාලික සහ විශේෂිත කාර්යයන් සඳහා යම් කාලසීමාවකට පමණක් එවැනි ගාස්තුවක් අය කරන්නේ නම්, එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට එය උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.

නමුත් ඒ පිළිබඳව අදහස් දැක්වූ ඇමෙරිකානු උසස් නිලධාරියා 'AP' පුවත් සේවයට පවසා ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය විසින් වළලා තිබූ මුහුදු බෝම්බ කිසිවක් ඇමෙරිකානු හමුදාවන්ට මෙතෙක් හමු වී හෝ විනාශ කර හෝ නොමැති බවයි.

Previous Post Next Post