එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු වන වෙරිජන්න්ටන් (Verigenton) සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන සැපයීමෙන් ඉවත් වී ඇති බව බලශක්ති, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි ඉන්ධන සැපයීම සඳහා මුලින් එකඟ වූ කොන්දේසි වෙනස් කරමින්, අදාළ සමාගම විසින් මෙරටින් පෙර ගෙවීම් (Advance Payments) ඉල්ලා ඇත.
එම අසාධාරණ ඉල්ලීම්වලට රජය එකඟ නොවීම හේතුවෙන් අදාළ සමාගම ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය අතහැර දමා තිබේ.
මෙම ගැටලුකාරී තත්ත්වය පසුගිය අප්‍රේල් මාසයේදී උද්ගත වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සමාගමේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව විද්‍යුත් තැපෑල (Email) හරහා සිය දැඩි අප්‍රසාදය නිල වශයෙන් පළ කර ඇති බවයි.
