මාස දෙකකට අධික කාලයක් පර්සියානු ගල්ෆ් කලාපය වෙළාගත් ඇමෙරිකා - ඉරාන යුද්ධය නිල වශයෙන් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයම තාවකාලික එකඟතාවකට එළඹෙමින් සිටින බව වාර්තා වේ.
තෙහෙරානය මේ වන විට අදාළ කෙටුම්පත අධ්‍යයනය කරමින් සිටින අතර, මෙය පූර්ණ සාම ගිවිසුමකට වඩා කෙටි කාලීන අවබෝධතා පත්‍රිකාවක් වනු ඇති බව නිලධාරීහු පවසති.
මෙම පුවතත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 3% කින් පමණ පහත වැටී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 දක්වා අඩු වී තිබේ.
දෙපාර්ශ්වය අතර පවතින ගැඹුරු මතභේද හේතුවෙන් පුළුල් විසඳුමකට එළඹීම වෙනුවට, ගැටුම් නැවැත්වීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම ඉලක්ක කරගත් පියවර තුනක සැලසුමක් යෝජනා වී ඇත.
මෙම සාකච්ඡා සඳහා පාකිස්තානය ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරයි. පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර මේ සම්බන්ධයෙන් දුරකථන සාකච්ඡාවක් ද පවත්වා ඇත. පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඉතා ඉක්මනින් එකඟතාවකට එළඹිය හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාකච්ඡා පිළිබඳව සුබවාදී ස්ථාවරයක පසුවන අතර "ඔවුන්ට ගිවිසුමක් අවශ්‍යයි... එය ඉතා ඉක්මනින් අවසන් වේවි" යනුවෙන් ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. පවතින ප්‍රගතිය සලකා බලා ඔහු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම ද තාවකාලිකව අත්හිටුවා ඇත.
කෙසේ වෙතත්, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් කලිබාෆ් ඇතුළු ඉරාන බලධාරීන් පිරිසක් මෙම වාර්තා කෙරෙහි සැක පළ කරති. ඔවුන් පවසන්නේ මෙය සාකච්ඡාවලට වඩා ඇමෙරිකාවේ "අභිලාෂයන් සහිත ලැයිස්තුවක්" පමණක් බවයි. විශේෂයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ යුරේනියම් තොග පිළිබඳව මෙහි පැහැදිලි සඳහන් කිරීමක් නොමැති වීම දෙපාර්ශ්වයේම අවධානයට ලක්ව ඇත.
සාකච්ඡා පැවැත්වෙන අතරතුර වුවද ඇමෙරිකාව ඉරානයට සහාය දක්වන ඉරාක නිලධාරීන් පිරිසකට අලුතින් සම්බාධක පැනවීමට කටයුතු කළේය. එමෙන්ම ඊශ්‍රායලය බීරූට් නගරයට ප්‍රහාර එල්ල කරමින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ඝාතනය කිරීම ද කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
සෞදි අරාබිය සිය ගුවන් සීමාව හෝ හමුදා කඳවුරු ඇමෙරිකානු මෙහෙයුම් සඳහා භාවිත කිරීමට අවසර ලබා නොදීම ද ට්‍රම්ප් පරිපාලනයට සිය යුද සැලසුම් වෙනස් කිරීමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
