මාලිමා සභාපතිට ඩීසල් මුදල් වංචා චෝදනා.. හූ හඬ මැද යන්න යයි..

 


ජාතික ජන බලවේගය බලය හොබවන බියගම ප්‍රාදේශීය සභාවේ පැවැති සභා වාරය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගත් අතර, එල්ල වූ මූල්‍ය වංචා චෝදනා හමුවේ සභාපතිවරයා සභාවෙන් පිටව ගියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය සහ "හූ" හඬ මධ්‍යයේය.

මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සභාවේ වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේදී රුපියල් ලක්ෂ ගණනක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවයි.

මුදල් කමිටු වාර්තාවල දැක්වෙන දත්තයන්ට අනුව, එක් අවස්ථාවක රුපියල් 712,372ක් ලෙස සටහන්ව තිබූ බිල්පතක නියමිත එකතුව රුපියල් 302,902ක් පමණක් වන බවත්, එහි රුපියල් 409,000කට අධික වංචාවක් සිදුව ඇති බවත් ඔවුහු අනාවරණය කළහ. තවත් අයිතම 38ක් සඳහා ඉදිරිපත් කර තිබූ රුපියල් 754,268ක බිල්පතක නියමිත එකතුව රුපියල් 373,799ක් වන අතර, එහි රුපියල් 380,469ක අතිරික්තයක් පෙන්වා දී ඇත.

සභාවට අයත් නොවන පෞද්ගලික වාහන සඳහාද මෙලෙස මහජන මුදලින් ඉන්ධන ලබාගෙන ඇති බවට විපක්ෂය මෙහිදී චෝදනා කළේය.

මෙම මූල්‍ය පාලනයන් සභාපතිවරයාගේ ඥාති පුත්‍රයෙකු (අක්කාගේ පුතා) වන ශසංක නැමැති නිලධාරියෙකු විසින් මෙහෙයවන බවත්, ඔහු සභාවේ අනෙකුත් නිලධාරීන් පාලනය කරන බවත් මන්ත්‍රීවරු හෙළි කළහ.

මීට අමතරව, පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අයත් පොත්හල්වලින් පමණක් පොත් ලබාගන්නා බවටත් විපක්ෂය චෝදනා එල්ල කළේය.

සභාවේ ලේකම්වරියද මෙම අක්‍රමිකතාවලට හවුල් වී ඇති බව පවසමින්, වසර ගණනාවක් එම තනතුරේ රැඳී සිටින ඇය වෙනුවට නව නිලධාරියෙකු පත් කරන ලෙස මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙම අක්‍රමිකතා පිළිබඳව සභාවේදී ප්‍රශ්න කිරීමත් සමඟ සභාපතිවරයා සභාවෙන් නැගිට පිටව ගිය අතර, එහිදී මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සභාවේ කටයුතු දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය


Previous Post Next Post