ජනාධිපති අනුර දිසානායක මහතා අධිකරණයට අපහාස කරනවා නම්, අධිකරණයට බලපෑම් කරනවා නම් ධුරය අහිමි වීමෙන් පසුව අනිවාර්යයෙන් දඬුවම් විඳින්න වෙනවා යයි පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.
ලෝක කම්කරු දිනයදා ජනාධිපතිතුමා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් වගේම අධිකරණයට බලපෑම් කිරීමකුත් සිද්ධ වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ? අප්‍රේල් 30 වැනිදා අවසන් වුණු නඩුවක මැයි 25 වැනිදා තීන්දුව දෙන්න නියමිතයි අත්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්න.
කාටද මේ අමතන්නේ? මේ වෙන තැනක කරපු ජනාධිපතිතුමාගේ නිල රැස්වීමක් නෙවෙයි, මේ අමතන්නේ මාලිමා පාක්ෂිකයා මැයි රැලියේ. ඒ අයට අත්පුඩි ගහන්න පෙළඹෙන්නේ මොකටද? මාලිමා පාක්ෂිකයා සතුටු වෙන වෙලාවේ. ඉතා මාලිමා පාක්ෂිකයා සතුටු වෙන්නේ කොතැනදීද? විපක්ෂයේ දේශපාලකයෙක් කුදලගෙන ගෙනිහිල්ලා හිරේ දැම්මම. එහෙමනම් මේ නොකියා කියලා තියෙන්නේ විපක්ෂයේ දේශපාලකයෙකු හිරේ දමන නඩු තීන්දුවක් මැයි 25 එනවා කියන එකයි.
එතකොට අද මුළු රටම හොයනවා අප්‍රේල් 30 වැනිදා අවසන් කරලා මැයි 25 නඩු තීන්දුව දෙන්න තියෙන්නේ කාගේ නඩුවක්ද, කුමන උසාවියේද? නඩු තීන්දුවේදී අත්පුඩි ගහන්න ජනතාව ගිහිල්ලා උසාවියේ වාඩි වෙලා ඉන්න එපැයි. හැබැයි ජනාධිපතිතුමා විසින් මේ කරපු ප්‍රකාශය හරහා මොකක්ද ලබා දෙන්න උත්සාහ කරන්නේ? ජනමාධ්‍යවල ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීමෙන් ජනාධිපතිතුමා නඩුකාරතුමාට දැනුම් දෙනවා මොකක්ද, "මට ඕන තීන්දුව මෙන්න මේකයි" කියලා. මොකද මේකේ එතුමා හිරේ දාන අයගේ නම් ලැයිස්තුවකුත් කියලා මේ විපක්ෂයේ දේශපාලකයන් ඉලක්ක කරන බව එතුමාගේ කතාවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා.
දැන් මේක අධිකරණයට අපහාසයක් වෙන්නේ, ජනාධිපතිතුමා මැයි 25 වැනිදා දෙන්න තියෙන නඩු තීන්දුව කලින්ම තමන් දන්න බව අඟවන නිසා. එහෙම දැනගන්න පුළුවන් කොහොමද? එක්කෝ ජනාධිපතිතුමා අදාළ විනිසුරුවරයාට කතා කරලා කියන්න ඕනේ "ඔන්න ඕකව හිරේ දාන තීන්දුවක් දෙන්න" කියලා. එතකොට ඒ පැත්තෙන් "හරි සර් කරන්නම්" කියන්නත් ඕනේ. එහෙම නැත්නම් නඩුකාරතුමා කලින්ම නඩු තීන්දුව ලියලා ජනාධිපතිතුමාට "මේක හරිද?" කියලා පෙන්නුවා වෙන්න ඕනේ. ඔය දෙකෙන් මොකක් ජනතාවට සන්නිවේදනය වුණත්, දැඩි ලෙස අපහසුතාවයට පත්වෙන්නේ අර නඩුකාරතුමා. ඒ හරහා මේ රටේ අධිකරණය පිළිබඳ ජනතාවගේ තියෙන ගෞරවය, පිළිගැනීම සුන්නද්දූලි වෙලා යනවා. ඒ නිසා මේක ඍජුවම අධිකරණයට කළ අපහාසයක්.
අපහාසයක් විතරක් නෙවෙයි, මෙතන බලපෑම් කිරීමකුත් තියෙනවා. ඇයි? මේ නඩු තීන්දු ලබා දෙන මහාධිකරණ විනිසුරුවරුන් පත් කරන්නේ ජනාධිපතිතුමා. ඔවුන්ට ඔවුන්ගේ ඊළඟ උසස්වීම් වෙන අභියාචනාධිකරණයට කාවද පත් කරන්නේ කියන එක ජනාධිපතිතුමා ගන්නා තීන්දුවක්. එහෙමනම් මේ ප්‍රකාශය හරහා ජනාධිපතිතුමා අධිකරණයට බලපෑමක් කරලා තියෙනවා. "ඊළඟ උසස්වීම දෙන්නේ මමයි, මෙන්න මේ විදිහට තීන්දුව දුන්නොත් නම් උසස්වීම ලබා ගත හැකියි." මේක බලපෑමක් නෙවෙයිද?
හැබැයි ජනාධිපතිතුමා කිසිම වගකීමකින් තොරව මේ වගේ චණ්ඩි කතා කියන්නේ ජනාධිපති මුක්තිය පිළිබඳ අපේ රටේ නීතිය පිළිබඳ එතුමාට කිසිම අවබෝධයක් නැති නිසා. ඇත්තටම ජනාධිපතිවරයාට මුක්තිය ලබා දීලා තියෙන්නේ ජනාධිපතිතුමාට ආරක්ෂාවක් ලබා දෙන්න නෙවෙයි, ජනාධිපතිතුමාගෙන් අපිව ආරක්ෂා කරගන්න. ඇයි? ජනාධිපතිතුමාගෙන් අපට වැරැද්දක් වුණොත්, ජනාධිපතිතුමා යටතේ තියෙන පොලිසියෙන් විමර්ශනය කරලා, ජනාධිපතිතුමා යටතේ තියෙන නීතිපති චෝදනා ගොනු කරලා, ජනාධිපති පත් කරපු විනිසුරුවරුන්ගෙන් තීන්දු ගත්තොත් අපට සාධාරණයක් නොවෙන්න පුළුවන්. බැලූ බැල්මට ඒක සාධාරණ නැහැ කියලා පේනවා. ඒ නිසා තමයි ජනාධිපති ධුර කාලයේ ඉන්න තුරු එයාට මුක්තියක් දීලා තියෙන්නේ.
හැබැයි මතක තියාගන්න, ලංකාවේ මුක්තිය පිළිබඳ නීතිය අනුව ජනාධිපති ධුරය අහිමි වුණාට පස්සේ, ධුරයේ කටයුතු කරපු කාලයේදී කළ වැරදිවලටත් නඩු දාන්න පුළුවන්. සමහර රටවල එහෙම නැහැ. ලංකාවේ එහෙම තමයි. ජිප්සීස් සුනිල් කියන්නා වගේ මේක ලංකාවේ එහෙම නැහැ නෙවෙයි ලංකාවේ එහෙම තමයි. ඒ නිසා ජනාධිපතිතුමා මේ විදිහට අධිකරණයට අපහාස කරනවා නම්, අධිකරණයට බලපෑම් කරනවා නම්, අනිවාර්යයෙන් ධුරය අහිමි වීමෙන් පසුව ඔබට අනිවාර්යයෙන් දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසා නීතිය දන්න කෙනෙක්ගෙන් ජනාධිපති මුක්තිය ගැන හරියට ඉගෙනගෙන අමාරුවේ නොවටෙන්න කතා කරන්නයි කියලා අපේ පරණ මිත්‍රයා ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට අපි පුංචි අනතුරු ඇඟවීමක් කරනවා.
