ආණ්ඩුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට මිලදී ගැනීමට සූදානම් නම් ගොවීන් සතුව තිබෙන මහ කන්නයේ නාඩු වී කිලෝවක් රුපියල් 120කට මිලදී ගැනීමට සූදානම් බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.
පොළොන්නරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මේ වනවිට සුදු සහ රතු නාඩු වී කිලෝවක මිල රුපියල් 100කට වඩා පහළ අගයක් දක්වා අඩුවීම නිසා ගොවීන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවද රජය විසින් පහුගිය අප්‍රේල්, මැයි මාස දෙකේදි පොන්නි සම්බා හාල් කිලෝ ග්‍රෑම් කෝටි 15ක් ආනයනය කිරීම නිසා මෙරට වී මිල පහත වැටුණු බවද ඔහු පැවසීය.
වී මිල පහළ වැටීමේ වගකීම වෙළෙඳ හා කෘෂිකර්ම ඇමැතිවරුන් බාරගත යුතු බවත් ඔවුන් දෙදෙනා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය නිසා අප්‍රේල් මස සහල් ආනයනය ආරම්භ වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
“හැබැයි දැන් ඒ දෙන්නා තොත්‍ත බබාලා වෙලා. ගොවියෝ පාරේ. ඇමැතිලා ඒ.සී. කාමරවල බාස්මතී බත් ගිලිනවා. අපේ සංගමය දැන් මාසෙකට කලින්ම අනතුරු ඇගෙව්වා වී මිල තවදුරටත් කඩා වැටෙනවා කියලා. ආණ්ඩුව ඒ ගැන කිසිම අවධානයක් දැක්වූවේ නෑ. ආණ්ඩුවට අද ගොවියෝ පේන්නේ වහල්ලු විදියට. ගොවියෝ වෙනුවෙන් මේ අවස්ථාවේ අපි රජයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ලංකාවේ සියලුම පෞද්ගලික සහල් මෝල් සූදානම් හෙට ඉඳලා රුපියල් 120ට නාඩු වී මිලට අරන් ගොවියා ආරක්ෂා කරන්න.
අප්‍රේල් මස සහල් ආනයනයෙන් ආණ්ඩුව රුපියල් මිලියන 10,000ක් හම්බ කළා. ඒ මුදල් භාවිත කරන්න පුළුවන් මේ සහල් මිලට ගන්න. දැන් ආණ්ඩුව අහයි ඒ හාල්වලට මොකද කරන්නේ කියලා. ඒ හාල් මාසෙකට කිලෝ ග්‍රෑම් 10, 20 ගාණේ අස්වැසුම්ලාභීන්ට දෙන්න මුදල් හිලව් කරලා. ඔන්න ජනාධිපතිතුමණි අපේ යෝජනාව දුන්නා. ඔයාලාට ගොවියගේ දුක තේරෙනවා නම් මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.’’ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
රසංග නිරෝෂන් - පොළොන්නරුව
නිමල් ජයරත්න - මනම්පිටිය
