මෙරට ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මහා පරිමාණ ව්‍යාපෘති 25 ක වැඩකටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය මේ වනවිට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පූර්ණ මඟපෙන්වීම සහ උපදෙස් අනුව මෙම පුළුල් සහ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
ඒ අනුව වර්ෂ 2014, 2016, 2017, 2018, 2019, 2024 යන වර්ෂයන්වල ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතූන් මත අතරමඟ ඉදිකිරීම් නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති අතරින් මහා පරිමාණ ව්‍යාපෘති 25ක් මෙම වැඩසටහනට ඇතුළත් වේ. ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළුව අත්‍යාවශ්‍ය බවට හදුනාගනු ලැබූ ප්‍රධාන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25 වැඩකටයුතු අවසන් කිරීම සඳහා 2025 අයවැය ප්‍රතිපාදන මඟින් මිලියන 16000ක මුදලක් වෙන් කරනු ලැබු අතර 2026 මෙම වසරේ වෙන් කළ මුදල රුපියල් මිලියන 19000 කි. රුපියල් මිලියන 38000ක මුදලක් 2027 වසරේ දී වෙන් කිරීමට සැලසුම් කර ඇත.
ළමා හා මාතෘ සෞඛ්‍ය නංවාලීම, පිළිකා ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, හෘද සහ තැලසීමියා රෝගී ප්‍රතිකාර සත්කාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ ජාතික මධ්‍යස්ථාන, හදිසි අනතුරු සත්කාර සේවා ශක්තිමත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් මෙම වැඩසටහනට ඇතුළත් ය.
ඒ යටතේ 2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ සහ වාට්ටු සංකීර්ණයේ (Maternity & Ward Complex) ඉදිකිරීම් අති නවීන පහසුකම් ද ඇතුළත් කර මේ වනවිට අවසන් කර ඇති අතර ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 389 කි.
එමෙන්ම 2017 වසරේ ආරම්භ කරන ලද රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) මහල් 12 කින් යුත් "පුංචි හදවත්" ඒකකයේ (Little Heart Centre) ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියර ළඟා වී ඇති අතර ඒ සඳහා වෙන් කරන ලද ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 6218 කි.
2016 වසරේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මහනුවර ජාතික පිළිකා ප්‍රතිකාර ඒකකයේ (cancer Treatment Unit) අදියර 2 යටතේ වු මහල් 8 ක ඉදිකිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර ඒ සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 400කි. එමෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් ගොඩනැගිල්ල සහ සය මහල් පිළිකා රෝග ඒකකයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම ඉදිකිරිම් කටයුතු සඳහා වත්මන් රජය 2026 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000 කි.
යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල (Accident & Emergency Treatment Unit - Stage II), කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකක ගොඩනැගිල්ල (Surgical Medical Unit) , මඩකලපුව සහ හම්බන්තොට වකුගඩු සත්කාරක ප්‍රතිකාර ඒකක (Renal Care Units) ගොඩනැගිලි සහ මහනුවර ජාතික රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකක ගොඩනැගිල්ල යන ව්‍යාපෘති වල ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතී. මෙම ව්‍යාපෘති සඳහා 2026 වසර සඳහා රුපියල් මිලියන 1750 ක මුදලක් වෙන් කර ඇත.
2014 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නැවතී තිබු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟා වෙමින් පවතී. මේ සඳහා 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කළ මුදල රුපියල් මිලියන 3000 කි.
මුල්ලේරියාව ජාතික ආඝාත මධ්‍යස්ථානයේ (National Stroke Centre) රෝග විනිශ්චය අංශය, කෑගල්ල, ත්‍රිකුණාමලය, අම්පාර, හලාවත සහ මහනුවර යන රෝහල්වල බාහිර රෝගී සහ හදිසි අනතුරු ඒකක ඉදිකිරීම් සහ අදාළ කටයුතු මේ වන විට සාර්ථක කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1750 කි.
මෙම වසර අවසන් වීමට පෙර මෙරට රෝහල් පද්ධතිය තුළ ආසාදිත අපද්‍රව්‍ය දහනය කරන යන්ත්‍ර (Incinerators) 15 ක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම අවන් අදියරේ පවතින අතර ඒ සඳහා රජය සහ JICA ඒකාබද්ධ ව්‍යාපෘතියක් දැනට සාර්ථකව ක්‍රියාත්මක වේ.
මීට අමතරව රත්නපුර රෝහලේ හෘද රෝග සත්කාර සංකීර්ණය, කළුතර මහල් 04 කින් සමන්විත හෙද අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල, අනුරාධපුර හෙද විදුහලේ අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල සහ හෙද නිල නිවාසය, ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨයේ මහල් 06 කින් යුත් නේවාසිකාගාර ගොඩනැගිල්ල යන ඉදිකිරීම් කටයුතු ද මේ වනවිටත් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී.
ඉහත ව්‍යාපෘතීන් වලට අමතරව රෝහල්වල යටිතල පහසුකම් නවීකරණය සහ පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 8800 කට අධික මුදලක් වෙන් කොට ඒවායේ වැඩකටයුතු ද මේ වනවිට ද ආරම්භ කර ඇත.
මෙම සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා සේවයට හැකි ඉක්මනින් එක් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් දැනටමත් ලබා දී ඇත.
