ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හමුවේ දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක් සිය උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
දිනකට අලුතින් රෝගීන් සිය ගණනින් රෝහල්ගත කිරීම හේතුවෙන් රෝහල් යටිතල පහසුකම් සහ කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන පරිදි, මේ වන විට දිනකට ඩෙංගු රෝගීන් 600ත් 700ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ.
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, මෙය වසංගත මට්ටමේ ව්‍යාප්තියක් බවත් ඔහු තහවුරු කළේය.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ තත්ත්වය දරුණු වී ඇති අතර ගාල්ල, මාතර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
රෝහල් වාට්ටු පිරී ඉතිරී යාම හේතුවෙන් සනීපාරක්ෂක පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් පවත්වාගෙන යාම ද දැඩි අභියෝගයක් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කරන්නේ, ඩෙංගු රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර නොගත යුතු බවයි.
රෝගීන්ගේ තත්ත්වය ඕනෑම මොහොතක හදිසියේම අසාධ්‍ය විය හැකි බැවින් නිරන්තර වෛද්‍ය අධීක්ෂණය අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි. පවතින වෛද්‍ය හිඟය හමුවේ රෝගීන්ට කඩිනම් අවධානය යොමු කිරීමේදී ගැටලු මතුව ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.
ඩෙංගු රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් රෝගීන් පූර්ණ විවේකය (Bed Rest) ලබාගත යුතු අතර, සංකූලතා මඟහරවා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
