ඊශ‍්‍රායල ශ‍්‍රමිකයන් ලංකාවට එවූ ඩොලර් මිලියන 6.9ක් අත්හිටුවයි..

 


ඊශ්‍රායලයේ රැකියාවල නියුතු මෙරට ශ්‍රමිකයන් ලංකාවට එවනු ලබන මුදල්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විපක්ෂය මතු කරන තර්ක සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින්නැයි ඔහු විපක්ෂයෙන් ඉල්ලීමක් ද කළේය.

මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ මුදල් එවීමේ කටයුතු සිදුවන්නේ ලංකා බැංකුව සහ ‘ග්ලෝබල් රෙමිට්’ නමැති ජාත්‍යන්තර ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් හරහා බවයි. වත්මන් ගැටලුවට මුල් වී ඇත්තේ ඊශ්‍රායල රජය විසින් මේ වන විට අදාළ ග්ලෝබල් රෙමිට් සමාගමට එරෙහිව පවත්වාගෙන යනු ලබන පරීක්ෂණයකි.

මෙම විමර්ශනය හේතුවෙන් ලාංකික ශ්‍රමිකයන් 5,100කට ආසන්න සංඛ්‍යාවකට සිය මුදල් ලබාගැනීමේ අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇත. එහෙත් මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර, එහි සේවය කරන වෙනත් විදේශීය ශ්‍රමිකයන් ද ඇතුළුව සමස්තයක් ලෙස පුද්ගලයන් 11,400කට ආසන්න පිරිසක් මේ නිසා පීඩාවට පත්ව සිටිති.

මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් තාවකාලිකව අත්හිටුවීමට (freeze) කටයුතු කර ඇති අතර, ග්ලෝබල් රෙමිට් සමාගම මේ පිළිබඳව ඊශ්‍රායල අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

කෙසේ වුවද, අදාළ මුදල් ගෙවීමේ වගකීම තමන් සතු බව එම ආයතනය පිළිගෙන ඇති බැවින්, ඉතා කඩිනමින් මේ සඳහා ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

රජය මේ වන විටත් රාජතාන්ත්‍රික මෙන්ම ආයතනික මට්ටමින් මැදිහත් වී මේ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බැවින්, මහජනතාව වෙත නිවැරදි තොරතුරු පමණක් සන්නිවේදනය කිරීමට පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.


Previous Post Next Post