කප්පම් මුදලක් ඉල්ලා සභාපතිට පාතාල ඇමතුමක්.. දෙනතුරු නිවස ඉදිරියේ තුවක්කුකරුවන්..


මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් නිර්නාමික දුරකථන අංකයකින් කප්පම් ඉල්ලු බව පවසයි.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහට ඊයේ( 07) උදැසන ලැබුණු දුරකථන අංකයකින් රුපියල් ලක්‍ෂ 5 ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එය නොදෙන්නේ නම් සභාපති පුටුවේ වාඩි නොවන ලෙසට තර්ජනය කර ඇත.

තමා ඊයේ උදෑසන නිවසේ සිටින විට තම ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමකින් කිසියම් පුද්ගලයකු තමාගෙන් රුපියල් ලක්ෂ 5 ක මුදල් කප්පමක් ඉල්ලු බවත් එම මුදල ඉක්මනින් ලබාදිය යුතු බවත් ,තමන්ට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති බවත් ,ඒ අනුව දැනට බන්ධනාගාරයේ සිටින පුද්ගලයකු බැලීමට යාමට (විසිට් එකක් යාමට )රුපියල් ලක්ෂ 2 ක බඩු ලබාදිය යුතු බවත් ඉතිරි ලක්ෂ 3 මුදලින් අවශ්‍ය බවත් පැවසූ බව කසුන් මුණසිංහ පවසයි.

එම දුරකථන ඇමතුමෙන් වැඩි දුරටත් පවසා ඇත්තේ ඒ වන විටත් කසුන් මුණසිංහ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට දෙදෙනකු අවි සමග ස්ථාන ගතකර ඇති බවත් ඉක්මනින් මුදල් ලබාදිය යුතු බවත්ය. එම කප්පම් මුදල ලබා නොදෙන්නේ නම් නැවත සභාපති අසුනේ අසුන් ගන්නට ඉඩ ලබා නොදෙන බවට තර්ජනය කර ඇත.

පසුව මතුගම නගරයේ ස්ථානයකට සභාපතිවරයාට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර සභාපතිවරයා එම ස්ථානයට ගියත් කිසිවකු සිට නැති බවද පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව ඉදිරි කටයුතු පිළිබඳව තමා තවදුරටත් කල්පනා කරමින් සිටින බවද ඉදිරියේදී පොලිසියට දැනුම් දීමට බලාපොරොත්තු වන බවද කසුන් මුණසිංහ වැඩි දුරටත් පැවසීය. මතුගම ප්‍රාදේශීය සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ස්වාධීන කණ්ඩායමකින් තරග කර ජයග්‍රහණය කළ කසුන් මුණසිංහ එම ස්වාධීන කණ්ඩායමේ අනෙකුත් මන්ත්‍රිවරුන් සමග සමගි ජනබලවේගය සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව ඔහුගේ නායකත්වයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා සභාපතිවරයා ලෙස පත් විය.

-  බන්දුතිලක තඹවිට, මතුගම

Previous Post Next Post