'Neupogen S.C' ඇතුළු පිළිකා ඖෂධ කාණ්ඩ රැසක පවතින උග්‍ර හිඟය සහ එම ඖෂධ බාහිරින් මිලදී ගැනීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය හේතුවෙන් පිළිකා රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පසුගිය කාලසීමාව පුරාම රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම පිළිකා ඖෂධ හිඟය පැවති බවත්, මෙලෙස රෝහල්වල ඖෂධ නොමැති වීමේ වාසිය ලබාගනිමින් ලියාපදිංචි නොකළ පිළිකා ඖෂධ ඉතා අධික මිලකට විකිණීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඇතැම් පිළිකා රෝගීන්ට මසකට අවශ්‍ය ඖෂධ බාහිරින් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැය කිරීමට සිදුව තිබේ. පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම පිරිවැය රෝගීන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට කිසිසේත්ම දරාගත නොහැකි බව පවසන වෛද්‍යවරයා, මෙලෙස බාහිර ෆාමසිවලින් (ඔසුසල්වලින්) මිලදී ගැනීමට සිදුව ඇති ලියාපදිංචි නොකළ ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳවද බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට වෙළඳපොළේ බොහෝ ඖෂධවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, එම තත්ත්වය පිළිකා ඖෂධ කෙරෙහිද සෘජුවම බලපා ඇත.
එබැවින්, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා මෙවැනි අසරණ රෝගීන් වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩිනම් අවධානය යොමුවීම අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.

අපි ජෙප්පද්දො සමග ඉන්න මාළු මාමලා. අපට ඕව ඇහෙන්නෙත් නෑ. ඇහුනත් ගණන් ගන්නෙත් නෑ
ReplyDelete