ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති කර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමක ව්‍යුහය ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එහිදී ඔහු අවධාරණය කළේ මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි අරමුණ, ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් යුද පිටියේදී අත්පත් කරගත් ජයග්‍රහණ තහවුරු කරගැනීම බවයි.
රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, මෑතකදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ අහේතුක ආක්‍රමණ හමුවේ ඉරානය පමණක් ජයග්‍රාහකයා ලෙස නැගී සිටි බවයි.
මෙම ප්‍රතිඵලය ඉරානයේ ප්‍රධාන උපායමාර්ගික ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළේය.
න්‍යෂ්ටික බලය ඇතුළු නවීන ආයුධවලින් සන්නද්ධව පැමිණි ආක්‍රමණිකයන්ගේ අරමුණු සාර්ථක කර ගැනීමට ඉරානය ඉඩ නොදුන් බව පැවසූ අමාත්‍යවරයා, මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයකින් පසු එය ගිවිසුමක් හෝ අවබෝධතාවක් හරහා ස්ථාවර කර ගැනීම ස්වාභාවික අවශ්‍යතාවක් බවද පෙන්වා දුන්නේය.
දැනට මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට බඳුන් වන කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුම අවසන් අදියරේ පවතින නමුත්, අවසන් අනුමැතිය ලැබෙන තෙක් එහි සංශෝධන සිදුවිය හැකි බැවින් නිල විස්තර පසුව ප්‍රකාශයට පත් කරන බව හෙතෙම සඳහන් කළේය.
මෙම අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත් කිහිපයක් ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) ඇතුළු ඉහළම තීරණ ගැනීමේ ආයතනවල සමාලෝචනයට ලක්ව ඇත. මෙම ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විතය:
• පළමු අදියර ඉරානය සහ ඇමෙරිකාව අතර මූලික අවබෝධතා ගිවිසුමකට එළැඹීම.
• දෙවැනි අදියර අවසන් ස්ථිර ගිවිසුමක් සඳහා වන දින 60ක සාකච්ඡා වටය.
මෙම මූලික ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු, දැනට අත්හිටුවා ඇති ඉරාන සතු මූල්‍ය වත්කම් නිදහස් කෙරෙනු ඇත. මෙම අත්සන් තැබීමේ ක්‍රියාවලිය ඉදිරි දින එකක් හෝ දෙකක් ඇතුළත ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවීමට නියමිතය.
යුරේනියම් ඇතුළු සංවේදී න්‍යෂ්ටික කරුණු මෙන්ම, ඇමෙරිකාව විසින් පනවා ඇති නීතිවිරෝධී සම්බාධක ඉවත් කරගැනීම පිළිබඳ සාකච්ඡා දෙවැනි අදියර දක්වා කල්දමා ඇත. ඉරානය සතු ඉහළ සාන්ද්‍රණයකින් යුත් න්‍යෂ්ටික ද්‍රව්‍ය, ඉරානය තුළදීම පමණක් තනුක කළ යුතු බවට වන ස්ථාවරයේ රට දැඩිව සිටින බව අමාත්‍යවරයා පැවසීය.
ලෙබනනය සැමවිටම ඉරානයේ උපායමාර්ගික ප්‍රමුඛතාවක් බව සිහිපත් කළ අරාග්චි මහතා, ඊශ්‍රායලය විසින් ලෙබනනය සමඟ ඇති කරගත් සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමට ඉරානය දැක්වූ දැඩි ප්‍රතිචාරය තවත් උපායමාර්ගික ජයග්‍රහණයක් බව ප්‍රකාශ කළේය.
"ඉරානය මේ කරන්නේ විහිළුවක් නෙවෙයි. අවශ්‍ය වුවහොත් අප යුද්ධයට බිය නොවනවා පමණක් නොව, රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම තැනකදී එය භාවිත කිරීමට සූදානම්," යැයි ඔහු අනතුරු ඇඟවීය.
යෝජිත රාමුව යටතේ ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් අවසන් විය යුතු අතර, කිසිදු පාර්ශවයක් බලය භාවිතා නොකළ යුතුය. මෙම ගිවිසුම හරහා ඇමෙරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ පළමු වතාවට ඉරානයේ ස්වෛරීභාවයට නිල වශයෙන් ගරු කිරීමට එකඟ වනු ඇත.
මෙම ගිවිසුමේ පළමු වගන්තිය ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා ඇති නීතිවිරෝධී නාවික අවහිරතා ඉවත් කිරීම පිළිබඳව වේ. මීට අමතරව, යුද්ධයෙන් සිදු වූ හානි සඳහා වන්දි ගෙවීම් ඇතුළත් ආර්ථික ප්‍රතිසංස්කරණ සැලසුමක්ද මීට ඇතුළත් වන අතර, එමඟින් ඉරාන ආර්ථිකයට විශාල මූල්‍ය ප්‍රතිලාභයක් හිමිවනු ඇත.
දින 60ක දෙවැනි අදියරේ සාකච්ඡා සාර්ථක නොවුවහොත්, සමස්ත ක්‍රියාවලියම අවලංගු වී පවතින තත්ත්වය පෙර පරිදිම පවතිනු ඇත. ඇමෙරිකාව ඇතුළු පාර්ශවයන් මීට පෙර අවස්ථාවලදී පොරොන්දු කඩකර ඇති බැවින්, ඉරානය තම ශක්තිය කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම ගිවිසුමට එරෙහි ප්‍රධානතම සතුරා ඊශ්‍රායලය බවද ඔහු හඳුනාගත්තේය.
ඉරානය සහ ඕමානය එක්ව උපායමාර්ගික වශයෙන් වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ නීතිමය සහ මෙහෙයුම් රාමුවක් ඉදිරි දින 60 තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, එම මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම ඉරාන සන්නද්ධ බලකායන් සතු වගකීමක් ලෙස තවදුරටත් පවතිනු ඇත.
