සාම ගිවිසුම සඳහා දැඩි කොන්දේසි සහිත නව යෝජනාවක් ටෙහෙරානයට...


ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවට තමන් වෙත සහතික වී ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මැදපෙරදිග පවතින යුද තත්ත්වය නිල වශයෙන් අවසන් කිරීම සඳහා වඩාත් දැඩි කොන්දේසි ඇතුළත් නව සාම යෝජනාවලියක් වොෂින්ටනය විසින් ටෙහෙරානය වෙත යවා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ වන පසුබිමකය.

පවතින දැඩි රාජ්‍යතාන්ත්‍රික මතභේද සහ වරින් වර ඇති වන සන්නද්ධ ගැටුම් මධ්‍යයේ, සති කිහිපයක සිට ක්‍රියාත්මක සාම සාකච්ඡා මෙම නව කොන්දේසි හේතුවෙන් තවදුරටත් ප්‍රමාද විය හැකි බව විචාරකයෝ පවසති. මෙම සාම ගිවිසුම මඟින් මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම මෙන්ම සති කිහිපයක සිට වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර නාවික ගමනාගමන මාර්ගය නැවත විවෘත කිරීම ද අපේක්ෂා කෙරේ.

ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, "මට අවශ්‍ය එකම සහතිකය ඔවුන් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බව තහවුරු කිරීමයි. ඔවුන් ඊට එකඟ වුණා" යනුවෙනි. කෙසේ වුවද, 'ද නිව්යෝර්ක් ටයිම්ස්' සහ 'ඇක්සියෝස්'  මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ ට්‍රම්ප් විසින් වඩාත් දැඩි කොන්දේසි සහිත නව රාමුවක් ඉරානය වෙත යවා ඇති නමුත් එහි අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව ටෙහෙරානය මීට පෙර සැක පහළ කර තිබූ අතර, දෙපාර්ශවයේ ප්‍රමුඛතා අතර පැහැදිලි පරතරයක් පවතී. ඉරාන මාධ්‍යවලට අනුව, න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, ඇමෙරිකාව විසින් අත්හිටුවා ඇති තමන්ට අයත් ඩොලර් බිලියන 12ක මුදල නිදහස් කළ යුතු බව ඉරානය අවධාරණය කරයි.

එමෙන්ම, ලෙබනනයේ පවතින ගැටුම් ද මෙම සාම ගිවිසුමට ඇතුළත් විය යුතු බව ඉරානයේ ස්ථාවරය වී තිබේ. ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම්  චෝදනා කරන්නේ ඊශ්‍රායල හමුදා තම රට තුළට ඉදිරියට පැමිණෙමින් "දැවී ගිය භූමි ප්‍රතිපත්තියක්" සහ සාමූහික දඬුවම් පැමිණවීමක් සිදු කරන බවයි.

ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල කරමින් සහ ලෝක ආර්ථිකයට තර්ජනයක් වෙමින් පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ දෙපාර්ශවීය අවහිරතා ඉවත් කිරීම සඳහා ට්‍රම්ප් පාලනය දැඩි පීඩනයකට ලක්ව සිටී. ගිවිසුමෙන් පසු ඉරානය නැව් ගමනාගමනය සඳහා බදු අය නොකරන බව ට්‍රම්ප් පවසා සිටියද, ඉරාන ෆාර්ස්  පුවත් ඒජන්සිය වාර්තා කළේ ගිවිසුම් කෙටුම්පතේ එවැනි කිසිදු කරුණක් නොමැති බවයි. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය කෙරෙහි ඉරානයේ ස්වෛරීභාවය සහ කළමනාකාරිත්වය ක්‍රියාත්මක කිරීමේ පනතක් එරට පාර්ලිමේන්තුවේදී ළඟදීම සම්මත වීමට නියමිත බව ද වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැති ඓතිහාසික සාකච්ඡාවලින් පසු තාවකාලික සටන් විරාමයකට එළැඹීමත් සමඟ දෛනික ප්‍රහාර නතර වී තිබුණද, සන්නද්ධ ගැටුම් සම්පූර්ණයෙන්ම නතර වී නොමැත. පසුගියදා ඉරාන මුහුදු සීමාවට ඇතුළු වීමට තැත් කළ ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළීමට තමන් සමත් වූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළද, ඇමෙරිකාව එය තහවුරු කර නොමැත. එසේම පසුගියදා ඉරානයේ බන්දාර් අබ්බාස් වරායට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කළ අතර ඉරානය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

පෙන්ටගන ප්‍රධානියා වන පීට් හෙග්සෙත් ආසියාවේ පැවැති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කළේ, අවශ්‍ය වුවහොත් නැවත යුද්ධය ආරම්භ කිරීමට වොෂින්ටනය සතු ශක්තිය ප්‍රමාණවත් බවයි. ජනාධිපති ට්‍රම්ප් ද පවසා සිටියේ, "මට කලබලයක් නැහැ. අපට අවශ්‍ය දේ නොලැබුණහොත් අපි වෙනත් ක්‍රමයකින් මෙය අවසන් කරනවා" යනුවෙන් පවසමින් මිලිටරි ක්‍රියාමාර්ගයක ඉඟි පළ කරමිනි.

Previous Post Next Post