භාවිතය අත්හිටවූ බාල බෙහෙත් ගැන වාර්තා තාම නෑ...


ඔන්ඩෙන්සෙට්‍රෝන් ඇතුළු ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ කාණ්ඩ දහයකට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර වසරකට ආසන්න කාලයක් ගත වුවද, මේ දක්වා එම ඖෂධ සම්බන්ධ ප්‍රමිති සහතික නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ජාතික සිවිල් පෙරමුණ චෝදනා කරයි.

කාලය ඉකුත් වූ ජලභීතිකා එන්නත් භාවිත කිරීමේ සිද්ධියකට අදාළව, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ සවිත් සේමගේ මහතාට එරෙහිව කොළඹ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ඇති පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ජාතික සිවිල් පෙරමුණේ කැඳවුම්කරු අචල දිවාකර මහතා මෙම චෝදනාව එල්ල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"ඔන්ඩෙන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීම හේතුවෙන් රෝගීන් දෙදෙනකු පමණ මියගිය බවට සැකයක් මතු වූ අතර, එකී ඖෂධ සාම්පල තුළ බැක්ටීරියා අඩංගු වී තිබූ බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කළ වාර්තාවක ද තහවුරු වුණා. ඒ සමඟම එම සමාගමෙන්ම ආනයනය කරන ලද තවත් ඖෂධ කාණ්ඩ නවයක් පමණ තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වුවත්, මෙකී ඖෂධ භාවිතයෙන් ඉවත් කර වසරකට ආසන්න කාලයක් ගත වී තිබියදීත්, මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති සහතික හෝ විද්‍යාත්මක වාර්තා නිකුත් කිරීමට වර්තමාන ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මෙතෙක් කටයුතු නොකිරීම දැඩි සැකයකට තුඩුදෙන්නක්."

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම ඖෂධ සම්බන්ධ විධිමත් පරීක්ෂණ වාර්තා කඩිනමින් රටට හෙළි කළ යුතු බවද ජාතික සිවිල් පෙරමුණ අවධාරණය කර සිටියි.

Previous Post Next Post