ඉරානය සමඟ ඇති කර ගැනීමට නියමිත නව එකඟතාවන්ට එකඟ විය නොහැකි නම්, ඇමරිකානු ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී නැවතත් ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කරයි.
ප්‍රංශයේ ඒවියන්-ලෙ-බේන්ස් හි පැවැත්වෙන 'G7' රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මධ්‍යම පෙරදිග කලාපීය ගැටුම් නිමා කිරීම අරමුණු කරගනිමින්, සිකුරාදා ජිනීවා නුවරදී අත්සන් කිරීමට නියමිත යෝජිත ගිවිසුම තවමත් අවසන් තීරණයක් නොවන බව ට්‍රම්ප් මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
"මෙය දැනට අවබෝධතා ගිවිසුමක් පමණයි. මම මෙයට අකමැති වුවහොත් හෝ ඔවුන් නිසි ලෙස හැසිරෙන්නේ නැතිනම්, අපි නැවතත් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට සහ ඔවුන්ගේ හිස් මතට බෝම්බ හෙලීමට කටයුතු කරනවා. කලාපයේ කේන්ද්‍රස්ථාන ඉලක්ක කරමින් වහාම එම ප්‍රහාර දියත් කිරීමට අපට සිදුවනු ඇත."
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ වීමට නියමිතය. එමෙන්ම ටෙහෙරාන්හි න්‍යෂ්ටික වැඩසටහන සහ අනෙකුත් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා සඳහා වන මූලික රාමුව ද මින් සකස් කෙරේ.
මේ අතර, පසුගිය මාස දෙකක කාලය තුළ පළමු වතාවට ඉරාන තෙල් නැව් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා තිබූ ඇමරිකානු නාවික අවහිරතා මඟහරිමින් යාත්‍රා කර ඇති අතර, එය දෙපාර්ශවය අතර යම් සාධනීය ප්‍රගතියක් පෙන්නුම් කරන සලකුණක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් CNBC නාලිකාව වෙත ප්‍රකාශ කර තිබුණේ, ගිවිසුමේ තවදුරටත් විසඳාගත යුතු කරුණු රාශියක් ඇති නමුත්, ඉදිරි සාකච්ඡාවලදී සියලු තීරණාත්මක බලතල සහ වාසි සහගත තත්ත්වයන් පවතින්නේ ඇමරිකාව සතුව බව තමන් විශ්වාස කරන බවයි.
