දිට්වා වන්දි චක‍්‍රලේඛයක් එදිනම වෙනස් කරලා..


 'දිට්ඨා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් දේශීය ව්‍යාපාරිකයන්ට වන්දි ලබාදීම සඳහා නිකුත් කළ චක්‍රලේඛයක්, එය නිකුත් කළ දිනයේදීම අවලංගු කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානය චෝදනා කරයි.

රජයේ මෙම ක්‍රියාවලිය හරහා බලධාරීන්ගේ පවතින නොහැකියාව පෙන්නුම් කරන බව එම සංවිධානය පෙන්වා දෙයි.

දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න මහතා සඳහන් කළේ, 2026 ජූනි 03 වැනිදා පෙරවරුවේ වන්දි නිර්දේශ කරමින් නිකුත් කළ චක්‍රලේඛය එදිනම පස්වරුවේ අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි. රජයේ මෙම අත්තනෝමතික තීරණ සහ දෙබිඩි පිළිවෙත හේතුවෙන් මේ වන විටත් දැඩි පීඩාවට පත්ව සිටින දේශීය ව්‍යාපාරිකයන් තවදුරටත් අසරණ වී ඇති බව ඔහු පැවසීය.

සමාගම් මැදුරේ නිසි පරිදි ලියාපදිංචි වී ඇති ව්‍යාපාරික ආයතනවලට වන්දි ලබා නොදීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස මෙහිදී කරුණාරත්න මහතා  විවේචනය කළේය.

"සමාගම් මැදුර කියන්නේ රජයේ ආයතනයක් නෙවෙයිද? එහි ලියාපදිංචි ව්‍යාපාරවලට වන්දි ලබාදීම පැහැර හරින්නේ ඇයි?" යනුවෙන් ඔහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියි.

පවතින මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

සාකච්ඡාවක් සඳහා දිනයක් ලබා දෙන තෙක් ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටීමට වුවද තම කණ්ඩායම සූදානම් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

සුළි කුණාටුවෙන් විනාශයට පත් දේශීය ව්‍යාපාරිකයන්ට වහාම වන්දි මුදල් ලබාදී ඔවුන්ව යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

Previous Post Next Post