ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, ඉරානය මැදිහත්කරුවන් මාර්ගයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවත්වාගෙන ගිය වක්‍ර සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට තීරණය කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
පසුගිය සති අන්තයේ ඇමරිකානු සහ ඉරාන බලවේග අතර අන්‍යෝන්‍ය ප්‍රහාර හුවමාරු වීම සහ උපායමාර්ගික වශයෙන් වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇත.
ඉරානයේ 'තස්නිම්' පුවත් ඒජන්සිය 'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලෙබනනය තුළ ඊශ්‍රායලය අඛණ්ඩව සිදුකරන ගුවන් ප්‍රහාර හේතුවෙන් සහ සටන් විරාම ගිවිසුම්වල පූර්ව කොන්දේසියක් ලෙස ලෙබනන අර්බුදය ද ඇතුළත් කර තිබීම නිසා, ඇමරිකාව සමඟ පවත්වන පණිවිඩ හුවමාරු සහ සාකච්ඡා අත්හිටුවීමට ඉරානය පියවර ගන්නා බවයි.
මෙම භූ-දේශපාලනික නොසන්සුන්තාව හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපී පෙනෙන වෙනසක් සිදු වී ඇත.
WTI බොරතෙල් මිල සියයට 6.5කින් ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු ඩොලර් 93.03ක් ලෙස සටහන් විය. Brent බොරතෙල් මිල සියයට 5.5කින් ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු ඩොලර් 96.13ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක ලිහිල් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන අවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් දින 60ක කාලරාමුවක් සහිත අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවය සති හතක් තිස්සේ සාකච්ඡා පවත්වමින් සිටියේය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය සෙනසුරාදා ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ දෙපාර්ශවය ඉතා හොඳ එකඟතාවකට සමීප වී ඇති බවයි. කෙසේ වෙතත්, අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකි බවටද ඔහු ඉඟි කළේය.
මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති වීම සහ කලාපීය ප්‍රහාර උත්සන්න වීම හේතුවෙන්, ලෝක බලශක්ති සැපයුමෙන් විශාල කොටසක් රැගෙන යන හෝමූස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමාවන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවයි.
ගෝලීය තෙල් සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, මෙම සමුද්‍ර සන්ධිය දිගුකාලීනව වැසී තිබුණහොත් ඉදිරියේදී තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු අනතුරු අඟවති.

America is too lenient on Iran It's time to show the regime of Iran the real modern war and finish it off .US should not trust Iran or Pakistan 。Bahrain is a good example why US shouldn't trust anyone of them.
ReplyDelete