සාම කතා සුන්.. ඉරාන මිසයිල ඊශ‍්‍රායලයට පහර දේ.. ඊශ‍්‍රායලයෙන් ඉරානයට ගුවන් ප‍්‍රහාර..


මැදපෙරදිග කලාපයේ පැවති බිඳෙනසුලු සටන්විරාමය සම්පූර්ණයෙන්ම බිඳදමමින්, ඉශ්‍රායල හමුදාව අද (ජූනි 8) අලුයම ඉරානයේ ප්‍රධාන නගර කිහිපයකට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. 

ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ විදේශීය පුවත් සේවා වාර්තා කරන අන්දමට, ඉරානයේ අගනුවර වන තෙහෙරාන් , ඉස්ෆහාන් සහ තබ්‍රිස්  යන නගර ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇත. තෙහෙරාන් අගනුවරින් අවම වශයෙන් ප්‍රබල පිපිරීම් දෙකක් සහ ඉස්ෆහාන් නගරයෙන් පිපිරීම් තුනක් ශ්‍රවණය වූ බව ඉරානයේ 'ඉර්නා' (IRNA) පුවත් ඒජන්සිය තහවුරු කරයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ ඉශ්‍රායලය මෙම ප්‍රහාර සඳහා ගුවන් මගින් දියත් කරන බැලිස්ටික් මිසයිල  භාවිත කර ඇති බවයි. 

මෙම ප්‍රහාර මාලාව දියත් වූයේ ඉරානය විසින් ඊයේ රාත්‍රියේ උතුරු ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලිස්ටික් මිසයිල 10ක් ඇතුළු මිසයිල ප්‍රහාර රැල්ලක් එල්ල කිරීමෙන් අනතුරුවය. ඉශ්‍රායලය විසින් ලෙබනනයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරයන් සහ සටන්විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමට එරෙහිව තමන් මෙම පියවර ගත් බව ඉරානය ප්‍රකාශ කර තිබුණි. 

කෙසේ වෙතත්, ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඉශ්‍රායලයට සිදු වූ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති අතර, ඔවුන්ගේ 'අයන් ඩෝම්' ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් එම මිසයිල විනාශ කළ බව ඉශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අමතමින් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර නොකර ඉවසීමෙන් කටයුතු කරන ලෙස දැඩිව ඉල්ලා සිටි බව වාර්තා වේ. මීට පෙර ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, "මෙහි සියලු තීරණ ගන්නේ මා මිස නෙදන්යාහු නොවේ" යනුවෙනි. එහෙත් ඇමෙරිකාවේ එම ඉල්ලීම් සහ බලපෑම් මුළුමනින්ම නොසලකා හරිමින් ඉශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇත. 

ප්‍රහාරයත් සමගම ඉරානය විසින් තෙහෙරාන් නුවර ඉමාම් ක්හොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබේ. 

දේශපාලන විහ්ලේෂකයන් පවසන්නේ ලෙබනනය සහ ගාසා තීරය ඇතුළු සමස්ත කලාපයටම බලපාන සටන්විරාමයක් සඳහා ඉරානය බලපෑම් කරමින් සිටින බවයි. ඉරාන හමුදාව අනතුරු අඟවා ඇත්තේ ඉශ්‍රායලය මෙම ප්‍රහාර නතර නොකළහොත්, මීට වඩා දරුණු මිසයිල ප්‍රහාර මාලාවක් ඉශ්‍රායලය වෙත දියත් කරන බවයි. මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ මැදපෙරදිග කලාපය දරුණු යුද ලේ වැගිරීමකට ඇද වැටීමේ අවදානමක් මතුව ඇත. 

Previous Post Next Post