ලන්ඩන් ගමන ගැන මෛත‍්‍රීට නඩු දාන්නෑ.. රනිල්ට චෝදනා ගොනු කරන්න පුළුවන්දැයි සොයනවා..- CID දන්වයි..


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව, හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇත.

එම උපාධි ප්‍රදානෝත්සවයේදී ඇය වෙත ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමා තිබුණි.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, මෙම බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව පොදු දේපළ පනත යටතේ අපරාධකාරී ලෙස මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට විමර්ශනය කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව ද ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම නඩුව ජුනි මස 08 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය.

1 Comments

  1. ගෙරි හමට තඩිබාන එක හැර වෙන කරන්න මොනවත්ම නැද්ද?

    ReplyDelete
Previous Post Next Post