විනිසුරු වයස දිගු කිරීමට විනිසුරුවන්ම විරුද්ද වේ.. රජයට දුන් දීර්ඝ ලිපිය මෙන්න..


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි ලෙස විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

“ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා,
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,
අධිකරණ හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය,
අංක 19, ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.

 විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය එකඟ නොවන බවට ප්‍රකාශ කිරීම.

1. උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුලු සියලුම විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා  අධිකරණ සේවා සංගමය එකඟ නොවන බවට 2026.07.11 වන දින පැවති එම සංගමයේ  විශේෂ මහා සභා රැස්වීමේදී රහස් ඡන්දයකින් ඒකමතිකව තීරණය කළ බව ඔබ අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමියටද පිටපතක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  ගරු ජනාධිපතිතුමා වෙත අප සංගමය ලිඛිතව දැනුම් දෙන ලදී.

2. එම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය විසින්  අධිකරණ  අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බැවින්  එවැනි  සංශෝධනයක් හඳුන්වා දීම නොකළ යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් ඔබතුමා වෙත කරුණු සැල කිරීමට 2026.07.18 දින පැවති  එකී සංගමයේ  විශේෂ විධායක කමිටු රැස්වීමේදී වැඩිදුරටත් තීරණය කරන ලදී.

3. ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ශ්‍රී ලංකාවේ දිසා විනිශ්චයකාරවරුන්ගෙන් හා මහෙස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත වන අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම විනිශ්චයකාරවරුන්ට බලපෑම් ඇතිකරන තත්ත්වයන් සම්බන්ධයෙන්  අත්‍යාවශ්‍ය වන්නා වූ අවස්ථාවන්හිදී තම ස්ථාවරය මෙලෙස  ඉදිරිපත් කර ඇත.  මෑත ඉතිහාසයේදී  යුක්තිය  පසිඳලීමේ  ක්‍රියාවලිය ස්වාධීනව සහ අපක්ෂපාතීව පවත්වාගෙන යාම සඳහා අප සංගමය  මැදිහත්වීම් කරන ලද වැගදත් සංධිස්ථාන සම්බන්ධයෙන් ඔබතුමාටද  අවබෝධයක් ඇතැයි විශ්වාස කරමු. එවැනි බොහෝ අවස්ථාවලදී විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් එකී ස්ථාවරය දැඩි ලෙස සැලකිල්ලට ගන්නා ලද අතර මෙම ක්‍රමවේදය පාලන තන්ත්‍රයේ  ප්‍රධාන කුළුණු අතර තම ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීමෙහිලා සංවරණය හා තුලනය පවත්වා ගැනීමට බෙහෙවින්ම හේතු විය. යුක්තිය පසිඳලීමේ  ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටිය හැකි අවස්ථා පූර්වාපේක්ෂණය කර ඒවා වළක්වා ගැනීමට එකී මැදිහත්වීම්  තීරක කාර්යභාරයක් ඉටු කරන ලදී.

4. විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන්  අප සංගමය මූලික වශයෙන්  එකඟ නොවීමට තීරණය කරනු ලැබූයේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ විනිශ්චයකාරවරුන්ගේ  වෘත්තීයභාවයට  බලපානු ලබන පහත සංක්ෂිප්ත කර ඇති කාරණා හේතුවෙනි.

 I. යෝජිත සංශෝධනයත් සමග ඉදිරි වසර දෙකක කාලය තුල අධිකරණ නිලධාරියෙකු ඉහල අධිකරණකට හෝ ශ්‍රේණියකට උසස්වීම සම්පූර්ණයෙන්ම ඇණ හිටීම.

මෙම සංශෝධනය ක්‍රියාත්මක වන දිනයේ සිට වසර දෙකක කාලයක් සඳහා දැනට සේවය කරන විනිසුරුවරයෙකුගේ මරණය,  ඉල්ලා අස්වීම හෝ විනය හේතුවක් නිසා ඉවත් කිරීම යන කරුණක් මත පුරප්පාඩුවක් ඇති වුවහොත් මිස ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ එකදු අංකයක් හෝ ඉහළ යාමක් සිදු නොවේ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා පවතින සමස්ත උසස්වීම් දාමය සම්පූර්ණයෙන්ම වසර දෙකකට ඇණ හිටීමයි. දැනටමත් උසස්වීම් අධික ලෙස ප්‍රමාද වීම හේතුවෙන් අසහනකාරී තත්ත්වයක් පවතිද්දී මෙම සංශෝධනය සිදුවුවහොත් එම කාලසීමාව අධිකරණ සේවයේ වෘත්තීය අපේක්ෂාවන් අහිමි වූ  කාලපරිච්ඡේදයක් බවට පත්වනු ඇත.

 II. මහාධිකරණයට උසස් වීම සඳහා ගතවන කාලය තවත් වසර දෙකකින් දීර්ඝ වීම.

පසුගිය දශකය තුල අධිකරණ නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස උසස් වීමක් ලබාගැනීම සඳහා ගත වන කාලය වසර 05 කින් පමණ ක්‍රමිකව වැඩි වී ඇත. උදාහරණයක් ලෙස 2010 වසරේ අධිකරණ සේවයට එක් වූ විනිසුරුවරයෙකු තවමත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහාධිකරණයට උසස්වීම් ලබා නොමැති අතර, ඒ අනුව දැනට ඒ සඳහා ගත වන කාලය අවම වශයෙන් වසර 17 ක් පමණ වී ඇත.  එහෙත් මෙම සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්  එදින සිට එම කාලය එකවරම තවත් වසර 02 කින් දීර්ඝ වේ.

 III. මහාධිකරණයට පත් වීමේ ක්‍රමවේදයේ  අසමතුලිතතාවය වර්ධනය වීම හා අධිකරණයේ වෘත්තිය විනිසුරු සංයුතිය දැඩි ලෙස පහත වැටීම.

මෙම යෝජිත සංශෝධනය මගින් ඉහත කී පරිදි අධිකරණ නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් වීමට ගතවන කාලය එකවරම තවත් වසර දෙකකින් දීර්ඝවේ. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු වල විශ්‍රාම වයසෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. එබැවින් නීතීඥවරයෙක් ලෙස දිවුරුම්  දුන් වහාම රජයේ අධි නීතීඥවරයෙකු ලෙස බැඳෙන අයෙකු උපරිම වසර 15 කින් පමණ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥයෙකු ලෙස තම උසස්වීම් ලබාගෙන මහාධිකරණ විනිසුරු ධූරයක් සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇත.  එහි ප්‍රතිඵලයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත්වන මහාධිකරණ විනිසුරුවරුන් පමණක් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්වන අතර එම අධිකරණ වලට පත් වීමට වෘත්තීය  විනිසුරුවරුන්ට දැනට තිබෙන 20% ක පමණ සුළු අවස්ථාවද සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇත.

 IV. වෘත්තීය අභිප්‍රේරණය බිඳ වැටීම.

උසස් වීම් පිළිබඳව කිසිදු අපේක්ෂාවක් නොමැති පරිසරයක් නිර්මාණය වීම හේතුවෙන් අධිකරණ වල සේවය කරන සියලුම විනිසුරුවරුන්ගේ වෘත්තීය අභිප්‍රේරණය දැඩි ලෙස පිරිහෙනු ඇත. උසස් වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති සේවා පරිසරයක් නිර්මාණය වීම තුළ වෘත්තීය කැපවීම, තරඟකාරීත්වය සහ සේවයේ ගුණාත්මක බව සැලකිය යුතු ලෙස අඩාල වීම නොවැළැක්විය හැකිය. එහි අවසාන හා දීර්ඝකාලීන ප්‍රතිඵලය අධිකරණ සේවයේ දැනට තිබෙන කාර්‍යක්ෂමතාවයද අහිමි වී යාමයි.

 V. අධිකරණ සේවයේ ආකර්ෂණය අඩුවීම නිසා දක්ෂ තරුණ නීතීඥයන් වෙනත් මාර්ග තෝරා ගැනීම.

මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කර ප්‍රදේශ වල දිසා විනිශ්චයකාරවරයෙකු හා මහෙස්ත්‍රාත්වරයෙකු ලෙස සේවය කරමින් දශක දෙකකට වැඩි කාලයක් බලා සිටීමෙන් පසුව මහාධිකරණයට උසස් වීමක් ලැබෙන තත්ත්වයක් නිර්මාණය වීම නිසා අධිකරණ සේවය අනාගතයේ දී තරුණ දක්ෂ නීතීඥයන් විසින් තෝරා නොගනු ඇත. එවැනි ප්‍රවණතාවක් ඇති වීමෙන් සිදු වන්නේ විනිශ්චයාසනයේ ගුණාත්මකභාවය පහළ යාම මත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් අපේක්ෂිත ව්‍යවස්ථාපිත කාර්යය භාරය බිඳ වැටෙන තත්ත්වයක් ඇති වීමයි .

 VI. අධිකරණ නිලධාරීන්ගේද විශ්‍රාම වයස දීර්ඝ කරන බවට පළවන අදහස් පිළිබඳ නීතිමය තත්ත්වය.

විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අදාල වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්17 දෙනාට සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්20 දෙනාට පමණි.  මහාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතට අළුතින්ම සංශෝධනයක් යෝජනා කල යුතුවේ. අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට නම් රජයේ සේවයේ සහ අධිකරණ සේවයේ (විශ්‍රාම) ආඥා පනත නොහොත් Public Service and Judicial Service (Retirement) Ordinance සංශෝධනය කළ යුතුවේ.  යම්හෙයකින් අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම වයස පමණක් වැඩි කළහොත් එකම පනතකින් නියාමනය වන එක් සේවක කාණ්ඩයකට පමණක් බලපාන ලෙස එය සිදු කිරීම හේතුවෙන් දැනටමත් විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ඉල්ලුම් කරමින් සිටින මිලියන දෙකකට ආසන්න සෙසු රජයේ සේවකයින් හා වෘත්තිය කණ්ඩායම් අතර  විශ්‍රාම ගැනීමේ වයස පිළිබද අසමතුලිතතාවයක් නිර්මාණය වීම මත විවිධ ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැක.   එසේම රාජ්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව නිශ්චිතවේ. එබැවින් යම් හෙයකින් සෙසු රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස වැඩි කලහොත් එහි  අනිවාර්ය  ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් වසර දෙකක කාලයකට අත්හිටුවීමට සිදුවීමයි. 

5. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගනු ලබන්නේ නම් එය අධිකරණ පද්ධතියේ සහ මහජනතාවගේ යහපත ඉලක්ක කිරීම  මත පමණක් පදනම් විය යුතුය.  මේ වන විට මෙම යෝජනාව පිළිබඳ අවශ්‍යතාවය වෘත්තීය භාවයෙන්  ඔබ්බෙහි වූ විවේචන වලට ලක් වී ඇත.  අධිකරණ පද්ධතියට බලපෑම් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක්  දේශපාලන අරමුණු ඇතිව විවේචනයන්ට ලක් කිරීම කවර තත්ත්වයක් යටතේ හෝ සුදුසු නොවේ.  අධිකරණ පද්ධතිය සහ එහි සිදු කරනු ලබන ව්‍යවස්ථාපිත ව්‍යුහාත්මක වෙනස්කම් පටු දේශපාලන තලයේ විවේචනයන්ගෙන් ඔබ්බෙහි එනම් පද්ධතියෙහි ගෞරවනීයභාවය ආරක්ෂා වන සීමාවෙහි පැවතිය යුතුය.  එසේ නොවන්නේ නම් ඒ පිළිබඳව සමාජය තුල ඇති වන සැක සංකා අවසානයේ අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු වනු ඇත.  එබැවින් වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය යටතේ මෙවැනි සංශෝධනයක් රැගෙන ඒම මගින් අධිකරණයේ ස්වාධීනත්වය හා බැඳුනු මහජන විශ්වාසය වැනි අස්පර්ශනීය කරුණු සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අහිතකර ප්‍රතිඵල ඇති වන බව අපගේ නිරීක්ෂණයයි.

6. මෙම  යෝජනාව ඉදිරිපත් කිරීමට සමගාමීව අධිකරණය හා විනිශ්චයකාර ප්‍රජාව අගෞරවයට ලක් කරනු ලබන සංවිධානාත්මක ව්‍යාපාරයක් සමාජ මාධ්‍යයන් හරහා ක්‍රියාත්මක වන බව අප සංගමය නිරීක්ෂණය කර ඇත.  අධිකරණ පද්ධතියට බලපෑම් කරනු ලබන කාරණයක් පිළිබඳව වුවද  විනිශ්චයකාර ප්‍රජාව තුළ සාකච්ඡා කරන හෝ නොකරන විනිශ්චයකාරවරුද කීර්තිමත් ව්‍යවස්ථාපිත ආයතනයක් වන අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ සේවා සංගමය හෝ බාහිර සමාජයේ පවතින  පටු වුවමනාවන්ට සාපේක්ෂව අර්ථ දක්වා පක්ෂව හෝ  විපක්ෂව මතවාද සමාජගත කිරීම, පරිභවයට ලක් කිරීම, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට කවර ආකාරයෙන් හෝ යහපත් තත්ත්වයක් නොවේ.  විනිශ්චයකාරවරයෙකුට තම මතය සමාජයට ඉදිරිපත්කළ හැකි අවස්ථාව  තමා ඉදිරියේ ඇති සාක්ෂි මත නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට සීමාවේ.  එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි සංශෝධනයක් ගෙන ඒමට පක්ෂ හා විපක්ෂ බාහිර වුවමනාවක් සමඟ සංසන්දනය කර අධිකරණ පද්ධතියේ ඇති ගෞරවනීය ආයතන හා විනිශ්චයකාරවරුන් විවේචනයට ලක් කිරීම සමස්ත අධිකරණ පද්ධතිය හෑල්ලු කිරීමට ඉඩ හැරීමක් වන අතර ඒ සම්බන්ධයෙන් අප සංගමය බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටිමු. එම තත්ත්වය වැළැක්වීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා වන ඔබතුමාගෙන්ද ඉල්ලා සිටින අතර  මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වූ යෝජනාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම තුලින් එම අහිතකර බලපෑම තවදුරටත් වැඩිවීමමේ අවධානමක් පවතී. 

7. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය සඳහා නවක විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම තුලින් සහ අලුතින් අධිකරණ ඇතිකිරීම වඩාත් ඵලදායී බව අපගේ නිරීක්ෂණයයි.  පසුගිය කාලය පුරාවටම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අවශ්‍යතාවය පරිදි විනිශ්චයකාරුවන් බඳවා ගැනීම අඛණ්ඩව සිදු කර ඇත.   ඔබතුමාද හොඳින් දන්නා පරිදි අධිකරණ කටයුතු වලට බරපතල බලපෑම් ඇති කර ඇත්තේ අධිකරණ කාර්යය මණ්ඩලවල පවතින 40 % කටආසන්න පුරප්පාඩු සහ අධිකරණ ගොඩනැගිලි හා යටිතල පහසුකම්වල බරපතල හිඟය වේ. අධිකරණ පද්ධතිය තුළ යාවත්කාලීන නොවූ තත්ත්වයන්  හඳුනාගෙන  ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම හා  අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීම  මගින්  නඩු විභාග ප්‍රමාදවීම වැළැක්වීම ප්‍රායෝගිකව  සිදුකළ හැක. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ඊට කිසිදු අදාලත්වයක් නොමැති බවද වර්තමානයේ අධිකරණ පද්ධතිය තුළ විශේෂ ප්‍රාගුණ්‍යය ලත් විනිසුරුවරුන්ගේ හිඟතාවයක් කිසිදු සමීක්ෂණයකින් හෙළිකොට නොමැති බවද අවධාරණය කර සිටිමු.  එසේම සෙසු වෘත්තීන් වල මෙන් ආර්ථික අර්බුදය ආදී මෑතකාලීන බලපෑම් හේතුවෙන් බුද්ධි ගලනයක්ද අධිකරණ ක්ෂේත්‍රය තුල සිදුවී නොමැත.  එබැවින්  යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ඉහල දැමිය යුතු බවට ගෙන එනු ලබන තර්කය අවංක හා යථාර්ථවාදී නොවන බව අපගේ නිරීක්ෂණයයි. 

8. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධ වීම අධිකරණ සේවා සංගමය අලුතින් ඇතිකර ගනු ලැබූ ස්ථාවරයක් නොවේ. 2015 වර්ෂය තරම් ඈත කාලයේදී පවා අප සංගමයේ එකී ස්ථාවරය අධිකරණ සේවා කොමිෂන් සභාවටද නිල වශයෙන් දැනුම් දී ඇත. ඉන් අනතුරුවද මෙවැනි උත්සාහයක් ඇති වූ සෑම අවස්ථාවකදීම අධිකරණ සේවා සංගමය ප්‍රතිපත්තිමය වශයෙන් එම ස්ථාවරය ආරක්ෂා කරගෙන තිබේ.

9. ඉහතින් සංක්ෂිප්ත කරන ලද සියලු කරුණු නැවත නැවතත් අවධාරණයට ලක් කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල වන උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුලු සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම  වයස දීර්ඝ කිරීම සදහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙසද අධිකරණ පද්ධතියේ අනන්‍ය මෙන්ම අස්පර්ශනීය වූ විශ්වසනීයත්වය හා අඛණ්ඩ ගෞරවනීය පැවැත්ම ආරක්ෂා කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.   

වර්ෂ 2026 ජූලි මස 22 වන දිනදීය.

චාමර වික්‍රමනායක,
සභාපති,     
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය.

සුරංග මුණසිංහ,         
ලේකම්,
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය






Sri Lankan Judicial Services Association Opposes Amendment to Extend Retirement Age for Judges

Strong opposition is being raised against the proposed constitutional amendment aimed at increasing the retirement age for judges by the Sri Lanka Judicial Services Association, which represents district judges and magistrates in the country. The association has sent a letter to the Minister of Justice outlining their position.

In a letter addressed to Hon. Harshana Nanayakkara, Minister of Justice and National Integration, the association has clearly stated its disagreement with the extension of the prescribed retirement age for judges.

The association made a unanimous decision against the amendment during a special general meeting held on July 11, 2026, and communicated this to the Secretary of the Ministry alongside a copy sent to the President of Sri Lanka.

Further discussions regarding the observation of this proposed constitutional amendment were outlined in a special executive committee meeting held on July 18, as the Cabinet had referred it to the Ministry of Justice for consideration.

Comprising district judges and magistrates, the Sri Lanka Judicial Services Association has consistently voiced concerns regarding the independence of the judiciary and adverse conditions affecting judges. It is believed that these amendments could disrupt the vital functions of the judiciary and undermine public trust.

Several key factors prompted the association's firm decision against extending the retirement age for judges:

I. The proposed amendment would lead to a complete halt in promotions for judicial officers to higher courts for a period of two years. If any position becomes vacant due to retirement or any disciplinary action during this time, it would prevent any upward mobility within the court system, thereby completely stalling the promotion flow from the Supreme Court to the Magistrate Court for two years.

II. It would further extend the time required for a judicial officer to be promoted to the High Court by an additional two years. Over the past decade, the average promotion time for a judicial officer to become a High Court judge has already increased by five years, and if this amendment passes, it will increase to 17 years or more.

III. The amendment would exacerbate the existing imbalance in the appointment process to the High Court, negatively impacting the quality and quantity of legal professionals in the judiciary.

IV. A hopeless environment regarding promotions would lead to a significant deterioration in professional motivation among judges.

V. The decline in the attractiveness of judicial service may drive skilled young lawyers to seek other career paths, which could diminish the quality of justice delivery in Sri Lanka.

VI. Any discussion surrounding increasing the retirement age has to be approached very cautiously, considering its legal implications and the potential imbalance it creates within the broader public service.

The association emphasized the importance of focusing not only on the retirement age for judges but ensuring that any changes to the judiciary's structure and functions are made without compromising the system's integrity and public confidence. They noted that reforms should prioritize the needs of the judiciary, rather than political motives.

Finally, the letter urged the Minister to reconsider any moves towards this amendment, arguing that such actions could undermine judicial independence and heighten public skepticism regarding the legal system. The association remains committed to protecting the autonomy and integrity of the Sri Lankan judiciary.

Issued on July 22, 2026.

Chamara Vikramanayaka,
President, Sri Lanka Judicial Services Association

Suranaga Munasinghe,
Secretary, Sri Lanka Judicial Services Association



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. Vedak na bn. Pacha Kotata ochchaea bara vachana therenney na. Ugey team ekath maga hariy.

    ReplyDelete
  2. API SERAMA RANIL SEEYTATA

    SEEYALA SHOKEEEEEEEEEEEEEEEEEE

    ReplyDelete
  3. අධිකරණය රජයට නතු කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ගන්නා උත්සාහය තේරුම් ගෙන ඊට විරුද්ධ වීමට තරම් කොන්දක් තිබීම ගැන ඔබතුමන්ලාට සමස්ථ ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුය.

    ReplyDelete
  4. නාසි වාදය පටන් ගන්න වගේ හදන්නේ.

    ReplyDelete
  5. හොදින් හො නරකින් විපක්ෂය අතුගා දමා මීළග චන්දයට යාමට මුන් සැරසෙන්නේ. අභ්‍යන්තර තොරතුරු අනුව හොද ක්‍රමය තමයි අධිකරණ පද්ධතිය හරහා කොටු කිරීම. නරක ක්‍රමය කුමක්ද කියා තවම ප්‍රකාශ කර නැත

    ReplyDelete
  6. බලය, වරප්‍රසාද, විදේශ චාරිකා, තනතුරු, තෑගි බෝග, මුදල් හෝ ලිංගික අල්ලස්, දරුවන්ට රැකියා, සේවා දිගු කිරීම් ආදී නොයෙකුත් දේ වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවා දී බලුවැඩ ක‍රන බොහෝ රජයේ නිලධාරීන්ට ඔබතුමන්ලා දෙන ආදර්ශය ගැන අපිට ආඩම්බර හිතෙනවා. ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා.

    ReplyDelete
  7. හිට්ලර් පලවෙනි ලෝක යුද්දයෙන් පස්සෙ වැටිල තිබුනු ජර්මනිය ආර්තික වසයෙන් සුපිරියට ගොඩ දැම්ම. ඊට පස්සෙ බුවාට මිනිස්සුන්ගෙ සපෝට් එක පට්ටෙට හම්බ උනා. ඊට පස්සෙ තමයි, බුවා ඒකාදිපති සීන් එකට බැස්සෙ. අපේ ජෙපි ගොබ්බයො ආර්තික ලබ්බවල් කරගන්න බෑකියල තේරුනාට පස්සෙ කුඩුවෙන්න හොරකන් කලා. දැන් බලය අත ඇරියොත් කෙලවෙනව කියල දන්න හින්ද, මොනව හරි කරල චන්ද තියන්නෙ නැතිව දිගටම ඉන්න හදන්නෙ. ඉස්සරහට එන කාලෙ මොනව වෙයිද කියල හිතාගන්න බෑ. මේකෙ වැරැදද රනිලුයි, සජියයි. මුන් සෙට් වෙලා චන්දෙ ඉල්ලුවනම් මුන්ට බලේ හම්බ වෙන්නෙනෑ..

    ReplyDelete
  8. විපක්ෂෙ නායකයො ඔක්කොම ඉන්නෙ ජනාධිපති හීනවල.
    හැබැයි ජෙප්පො විපක්ෂෙ ඉන්න වෙන්ඩ ජනාධිපතිලයි, අනිකුත් විරුද්ධ කණ්ඩායම්වල පිරිසයි හිරේ දාලා දිගටම බලේ ඉන්නයි හදන්නෙ.
    අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහගෙන දඟලන්න තමයි විපක්ෂෙට වෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post