ඉහල අධිකරණවල විනිසුරු සංයුතිය ප‍්‍රාණ ඇපයට අරන්.. ජනපතිගේ තර්කය නීති විරෝධියි...


 ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීම විධායකය විසින් ප්‍රමාද කිරීම මෙරට නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතළ තර්ජනයක් බව ‘සත්‍ය ගවේෂකවෝ’ සංවිධානය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය, පොදු නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ බරපතළ ගැටලු මතු කරන්නක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පහළ අධිකරණවල පවතින පරිපාලනමය ගැටලු උසස් අධිකරණවල පත්වීම් ප්‍රමාද කිරීමට හේතුවක් ලෙස දැක්වීම නීතිමය වශයෙන් වලංගු නොවන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවන් බඳවා ගැනීම සහ ඔවුන්ගේ පරිපාලනය මුළුමනින්ම අධිකරණ සේවා කොමිෂන් සභාවට (JSC) පැවරී ඇති කාර්යයකි.

එහෙත්, උසස් අධිකරණ විනිසුරු පත්වීම් යනු ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා සතු සුවිශේෂී වගකීමකි. රජයේ වෙනත් අංශයක පවතින පද්ධතිමය අසාර්ථකත්වයන් මත පදනම්ව උසස් අධිකරණවල විනිසුරු සංයුතිය ‘ප්‍රාණ ඇපයට’ තබා ගැනීමට විධායකයට අයිතියක් නොමැති බව එම සංවිධානය අවධාරණය කරයි.

වෘත්තීය විනිසුරුවන්ගේ ‘සාධාරණ අපේක්ෂාවන්’ (Legitimate Expectations) අතුගා දැමීම හරහා ඔවුන්ට ආපසු හැරවිය නොහැකි වෘත්තීය අගතියක් විධායකය විසින් සිදුකරන බව ද එහි සඳහන් වේ.

මෙම කෘතිම ප්‍රමාදය හේතුවෙන් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට උසස් අධිකරණවල සේවය කිරීමට ඇති කාලය කෙටි වන අතර, එය සමස්ත අධිකරණ පද්ධතියේම නායකත්ව අනුපිළිවෙළ අවුල් කිරීමට හේතු වන බව සත්‍ය ගවේෂකවෝ සංවිධානය පෙන්වා දෙයි.

රජයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් පුරවැසියෙකුට හෝ නිලධාරියෙකුට හිමිවිය යුතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අහිමි කළ නොහැකි බව පෙන්වා දෙන එම සංවිධානය, මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය සෘජුවම උල්ලංඝනය කිරීමක් බව පවසයි. උසස් අධිකරණවල විනිසුරු මඩුල්ල හිස්ව තැබීමෙන් අභියාචනා සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ප්‍රමාද වී මහජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහා වහාම ක්‍රියාත්මක වී, උසස් අධිකරණවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස සත්‍ය ගවේෂකවෝ සංවිධානය විධායකයෙන් ඉල්ලා සිටියි.












Delay in Appointments for Supreme and Appeals Court Judges Threatens Judicial Independence, Warns Advocacy Group

The organization "Sathya Gaveshakawo" has raised alarm over the executive's delay in appointing judges to the Supreme Court and the Court of Appeal, describing it as a significant threat to the rule of law and judicial independence in Sri Lanka.

According to a statement made by President Anura Kumara Dissanayake in Parliament recently, the delay implicates severe issues concerning public law and constitutional governance, as highlighted by the advocacy group.

In a statement signed by attorney-at-law Premnath C. Dolawatta, it was articulated that citing administrative problems within lower courts as a justification for delaying appointments to higher courts is legally invalid.

The Constitution mandates that the appointment and management of magistrates and district judges fall entirely under the jurisdiction of the Judicial Service Commission (JSC). In contrast, appointments for judges within higher courts are a unique responsibility of the President, contingent upon the approval of the parliamentary council.

The organization emphasized that systemic failures in other branches of government do not grant the executive the authority to jeopardize the judicial appointments, underscoring that professional expectations of legal practitioners must not be disregarded.

This artificial delay is shortening the tenure of senior judges in the Supreme Court, potentially disrupting the entire leadership structure of the judicial system, according to Sathya Gaveshakawo.

Stressing that citizens and officials alike cannot forfeit their constitutionally guaranteed rights due to governmental administrative weaknesses, the organization called this action a direct violation of Article 12(1) of the Constitution. They further indicated that the vacancies in the Supreme Court are resulting in significant delays in hearing appeals and cases concerning fundamental rights, bringing considerable injustice to the public.

Sathya Gaveshakawo has urged the executive to take immediate action to fill the vacancies within the Supreme Court to safeguard judicial independence.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. හුන්ඩු මානසිකත්වය තියෙන ගංකබරයෙක් ජනාධිපති වුණාම ඔහොම කරනවා. අපේ විදේශ ණය ගැන කබරයා එදා කිව්වෙ ඩොලර් බිලියන 41 කියන්නෙ මොන කජ්ජක්ද අපිට ඕක මාස 6 න් පියවන්න පුලුවන් කියලා.

    ReplyDelete
  2. ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන බලවත්ම ලක්ෂණයක් වන්නෙ ස්වාධීන අධිකරණ පද්ධතිය. රටෙ පුරවැසියන්ට නීති පද්ධතිය නැතහොත් ස්වාධීන නීති පද්ධතියක් ඇති බව තහවුරු නැත්නම් රට අරාජිත වීම පළමු අවස්ථාව ලෙසද දැක්විය හැකිය. මොකද විධායකය හො ව්‍යවස්ථාදායකය පිස්සු නටන අවස්ථාවක එය ඉකිමනින්ම නිවැරදි කරන්න පුලුවන් ස්වාධීන අධිකරණ පද්ධතියකට. අධිකරණ පද්ධතියෙ තනතුරු රැසක් හිස්ව තියලා රටෙ ජනතාව විමසිල්ලෙන් බලා සිටින නඩු රාශියක් ඉදිරියට ගෙනියන්න විනිසුරුවරුන් පෙළඹවීම කැරට් අල පෙන්වීමක්ද එනයින් නීතිය නැමීමට ලක් වෙයිද කියන සැකය රටෙහි පුරවැසියන්ට එනවා.

    ReplyDelete
Previous Post Next Post