පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කේ.එස්.බී. රාජනායක මහතා අද (01) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාවේ ලේකම්වරිය වෙත භාර දී ඇති බව වාර්තා වේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාවට තේරී පත් වූ රාජනායක මහතා, සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂය සමඟ සන්ධානගත විය.
එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය වැඩි කොට්ඨාස සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද, සභාවේ බහුතර බලයක් හිමි කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සමගි ජන බලවේගය සහ සර්වජන බලය එක්ව පාලන බලය අත්පත් කරගන්නා ලදී.
මෙම එකඟතාවය අනුව සභාපති ධුරය සමගි ජන බලවේගයටත්, උප සභාපති ධුරය සර්වජන බලය පක්ෂයටත් හිමි විය.
කෙසේ වෙතත්, සභාපතිවරයා සහ උප සභාපතිවරයා අතර පසුගිය කාලසීමාව පුරා දැඩි මතභේදාත්මක තත්ත්වයක් පැවතිණි. සභාපතිවරයා අත්තනෝමතික ලෙස පාලන කටයුතු මෙහෙයවන බවට චෝදනා කරමින්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරන උප සභාපතිවරයා මීට සති කිහිපයකට පෙර විරෝධතා උපවාසයක පවා නිරත විය.
සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරියේදී සභාවේ පාලන බලය මෙහෙයවන ආකාරය පිළිබඳව නව තීරණයක් ගැනීමට නියමිතව ඇත.
