පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් සුගතදාස ශාලාවේ දැවැන්ත රැස්වීමක් තියලා කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කරලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉවත් වෙනු කියලා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන දියත් කලා. ඒ රැස්වීමට ආරාධිතයෙකු ලෙස සහභාගි වුණු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියැද්ද මහතා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් ඒ උත්සවය මුදල් නාස්තියක් බවත් උත්සව පවත්වලා රැස්වීම් පවත්වලා මත්ද්‍රව්‍ය නැති කරන්න බැරි බවත් ප්‍රකාශ කලා.
මත්ද්‍රව්‍ය පාලනය කරන්න නම් එක පැත්තකින් බුද්ධි අංශ සවිමත් කරලා මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමන්න ඕනි. අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට මත්ද්‍රව්‍ය සොයා ගන්න බැරි වුණාම එකතු වෙන්න පුනරුත්ථාපන වැඩසටහනක් තිබෙන්න ඕනි. එහෙම නැතිව ඉවත් වෙනු කියලා රට පුරා රැස්වීම් මාලාවක් පවත්වලා ඝෝෂා කරපු පමණින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අයවත් ඒකෙන් කෝටි ගණනින් හම්බ කරන අයවත් ඉවත් වේවි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක්.
මේකට හොඳම උදාහරණය තමයි ජනාධිපතිතුමා ඉවත් වෙනු කියලා කිව්වාට පස්සේ මාලිමාවේ දේශපාලකයින් කී දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදිලා අත්අඩංගුවට පත් වුණා ද? පෑලියගොඩ, අනුරාධපුරය, දෙහිවල, රත්මලාන, දික්වැල්ල සහ ගාල්ල ආදී ප්‍රදේශ ගණනාවකින් පසුගිය දවස්වල හසු වුණු ජාවාරම්කරුවන් මාලිමාවේ දේශපාලකයින්. මාලිමාවේ අය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට පත්වීම කෙතරම් ඉහල ගියා ද කිව්වොත් අත්අඩංගුවට ගැනීම් ගැන මාධ්‍යයට දෙන්න එපා කියලා චක්‍රලේඛයක් නිකුත් කරන්න පොලිස්පතිතුමාට සිදුවුණා. මේකෙන් පේන්නේ අඩුම ගණනේ මාලිමාවේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්වත් ජනාධිපතිගේ ඉවත් වෙනු නියෝගය ශත පහකට ගණන් අරන් නැති බවයි.
2012 දී ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය මහත්මයාත් 2023 දී මහජන ආරක්ෂක ඇමති ලෙස ටිරාන් අලස් ඇමතිතුමාත් ඉතාම සාර්ථක මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන් ක්‍රියාත්මක කලා. 2012 දී ගෝඨාභය ලේකම්තුමාගේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට මුහුණ දෙන්න බැරිව තමයි මේ රටේ හිටිය ජාවාරම්කරුවන් ඒ කාලයේ පාසල් දරුවන්ගේ පොත් මළු පාසලේ දී පරික්ෂා කරන විට මාලිමාව ඒකට හිනා වුණා. නමුත් දැන් විදුහල්පතිවරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස කටයුතු කරන බව හෙලි වෙනවා. දෙමව්පියන් පාසල් දරුවන් භාවිතා කරමින් පාසල් හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරීම කරනවා කියලා ජනාධිපතිතුමාම කියනවා.
නොවැම්බර් 20 දා තංගල්ලෙන් රටම එකට නමින් රැස්වීම් මාලාවක් ආරම්භ කරනවාලු. රැස්වීම් පවත්වලා මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න බෑ කියලා ජනාධිපතිට මේක තේරෙන්නේ නැද්ද? තේරෙනවා නම් රැස්වීම් පවත්වන්නේ ඇයි? මාලිමාවට වැඩ කරපු උත්සව භාණ්ඩ සපයන්නන්ට වේදිකා හදන අයට ශබ්ද විකාශන යන්ත්‍ර සපයන අයට රජයේ මුදල් ගසා කන්න අවස්ථාවක් අරන් දෙන්නයි මේ රැස්වීම් මාලාව පවත්වන්නේ කියලා අපට නම් හිතෙන්නේ.
මේ රැස්වීම් 20 දා පටන් ගන්න තවත් හේතුවක් තිබෙනවා. ඉල් විරු සමරුවටත් ලොකු සෙනගක් ආපු නැති නිසා ඉතාම සංවිධානාත්මකව රටේම ඉන්න මාලුමාවුන් එකම තැනකට ගෙනැල්ලා 21දා නුගේගොඩ රැස්වීමට පෙර ලොකු රැස්වීමක් පවත්වලා අපටත් සෙනග ඉන්නවා කියලා රටට පෙන්වීම තමයි ඔය 20දා රැස්වීමේ ඇත්ත අරමුණ.
