අවතැන් වූවන් යක්‍ෂාවේශ වෙති.... ග‍්‍රාම නිලධාරීන් සහන සේවා අත්හරිති..


ආපදා සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටින ග්‍රාම නිලධාරීන්ට එල්ල වන අඛණ්ඩ තර්ජන, බැනවැදීම් සහ පහරදීම්වලට විරෝධය පළ කරමින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරීන් අද (20) සිට ආපදා සහන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරන්නේ පවතින අනාරක්ෂිත වටපිටාව හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි. 

මේ පිළිබඳව කල්පිටිය වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා ලිඛිතව දැනුවත් කිරීමට ද එම සංගමය පියවර ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ රාජකාරියේ නිරත නිලධාරීන්ට එරෙහිව වාර්තා වූ සිදුවීම් කිහිපයක් මෙම තීරණයට පාදක වී ඇත.

එක් සංවර්ධන නිලධාරියෙකු පහර කෑමට ලක්ව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී. තවත් සංවර්ධන නිලධාරියෙකු සහ කාන්තාවක අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී ඇත.

ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ බැණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ආපදා තත්ත්වයකදී දැඩි කැපවීමෙන් සේවය කරන නිලධාරීන්ට එරෙහිව මෙවැනි හිංසනකාරී ක්‍රියා සිදුවීම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අවධාරණය කරයි. 

තම සාමාජිකයන්ගේ වෘත්තීය ගෞරවය සහ ආරක්ෂාව තහවුරු වන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

Previous Post Next Post