පිවිතුරු හෙළ උරුමය අද දින (08) පවත්වන ලද මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් “රට යළි හදන මග” මැයෙන් ව්‍යසනයෙන් රට යළි ගොඩ නැගීම සඳහා වන යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
එම යෝජනාවලිය පහත දැක්වේ
2025 දෙසැම්බර් 8 දින
ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1
ගරු ජනාධිපතිතුමනි
රට යළි හදන මග - පිවිතුරු හෙළ උරුමය යෝජනාවලිය
මෑත ඉතිහාසයේ සමස්ත රටටම දැනුනු දැවැන්තම ව්‍යසනයට පසුගිය දා අපි මුහුණ දුන්නෙමු. එකී ව්‍යසනයෙන් රට යළි ගොඩ නැගීම සඳහා මතු දැක්වෙන යෝජනාවලිය අපි ඉදිරිපත් කරමු. එකී යෝජනා පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ඔබතුමාට අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක අපි ඔබතුමා මුණ ගැසීමට සූදානමින් සිටිමු.
(i) ආපදාවෙන් සිදුවුණු මරණ පිළිබඳ විස්තරාත්මක සංඛ්‍යා ලේඛණ ප්‍රසිද්ධ කර ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩ නැගීම
මැතිවරණ ජයග්‍රහණයන්ට පෙරත් ජයග්‍රහණයන්ගෙන් පසුත් ආණ්ඩුවේ නායකයින් විසින් ජනතාවට මුසාවන් පැවසීම හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳී ගොස් ඇත. එබැවින් ආපදාවෙන් සිදු වුණු මරණ පිළිබඳ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ ජනතාව විශ්වාස නොකරන අතර 3,000කට අධික පිරිසක් මිය ගිය බවට පොදු සමාජ මතයක් ගොඩ නැගී ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇරඹීමට පෙර මහජන විශ්වාසය ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසියකි. එබැවින් ආපදා මරණ සංඛ්‍යාව ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් ප්‍රසිද්ධ කිරීමෙන් තමන්ගේ ප්‍රදේශයේ සිදුවුණු මරණ නිවැරදිව වාර්තා කර ඇත්දැයි ජනතාවටම තහවුරු කර ගැනීමට හැකි වනු ඇත. එවිට ආණ්ඩුවේ ප්‍රකාශ පිළිබඳ නැවත ජනතා විශ්වාසය ගොඩ නගා ගැනීමට අවස්ථාව උදා වේ.
(ii) දිත්වා කුනාටුවෙන් සිදුවුණු ආපදාව තීව්‍ර කිරීමට ආණ්ඩුවේ නොසැලකිල්ල දායක වූවාදැයි විමර්ශනය කර වගකිවයුතු අය වාර්තා කිරීමටත් මෙවැනි විපතක් යළි ඇතිවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම
දේශීය සහ විදේශීය ජනමාධ්‍ය ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද කුනාටුව පිළිබඳ කල් ඇතිව අනතුරු ඇඟවුව ද ඒ පිළිබඳ ආණ්ඩුව විසින් නිසි පූර්ව සූදානමක් නොවුණු බවට සමාජ විශ්වාසයක් ගොඩ නැගී ඇත. එකී සමාජ විශ්වාසය හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය පලුදු වී ඇත. සැබැවින්ම මෙම ව්‍යසනය රාජ්‍ය යාන්ත්‍රණයේ නොසැලකිල්ලකින් සිදුවුණි ද එයට වගකිවයුතු අය කවුද යන තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. එමෙන්ම නැවත මෙවැනි අවාසනාවන්ත ඉරණමකට අපේ මව්බිම ගොදුරු නොවන බවට සහතික කර ගත හැකි වන්නේ මෙම ව්‍යසනයට බල පෑ හේතු සහ ඊට වගකිවයුතු පුද්ගලයින් හඳුනා ගැනීමෙන් පමණි. එබැවින් දිත්වා කුනාටුවෙන් සිදුවුණු ආපදාව තීව්‍ර කිරීමට ආණ්ඩුවේ නොසැලකිල්ල දායක වූවාදැයි විමර්ශනය කර වගකිවයුතු අය වාර්තා කිරීමටත් මෙවැනි විපතක් යළි ඇතිවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපි යෝජනා කරමු.
(iii) දේපල හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ නිශ්චිත සහ විස්තරාත්මක වැඩසටහනක් එළි දැක්වීම
දේපල හානි වූ අයට රුපියල් ලක්ෂ 50ක් දක්වා වන්දි ගෙවන බවට ආණ්ඩුව නිවේදනය කළත් එකී නිවේදනයේ නිශ්චිත හෝ විස්තරාත්මක තොරතුරු අඩංගු නැත. බොහෝ අවස්ථා වල දී යම් නිවසක ජීවත් වුණු සියළුම දෙනා මිය ගොස් ඇත. එවැනි අවස්ථාවක දී වන්දි ලබා ගැනීමට අයිතිවාසිකම් ඇත්තේ කාටදැයි නිශ්චිතව ආණ්ඩුව නිවේදනය කර නොමැත. එබැවින් ආණ්ඩුවේ දේපල වන්දි වැඩසටහන නිශ්චිත සහ විස්තරාත්මක විය යුතුය.
(iv) මිය ගිය අයට වන්දි ගෙවීමේ දී තාර්කික වැඩසටහනක් දියත් කිරීම
මිය ගිය සෑම පුද්ගලයෙකුටම රුපියල් ලක්ෂ 10 වන්දියක් ලබා දෙන බව ආණ්ඩුව නිවේදනය කළත් මිය ගිය අයගෙන් පවුලට ඇති කරන ආර්ථික බලපෑම විවිධාකාරය. පවුලක යැපෙන්නන් වන වයස්ගත අය හෝ දරුවන් මිය යනවාට වඩා පවුලට ආදායම් උපයන අය මිය යෑමෙන් ඇති කරන බලපෑම බෙහෙවින් ඉහළය. සිව්දෙනෙකුගේ පවුලේ ආදායම් උපයන එකම පුද්ගලයා වන පියා මිය ගොස් ඇත්නම් එකී පවුලේ පැවැත්ම තීරණාත්මක අවදානමකට වැටී ඇත. එබැවින් යැපෙන්නෙකුට ගෙවන වන්දිය මෙන් සිව් ගුණයක වන්දියක් ආදායම් උපයන අයෙකු වෙනුවෙන් ගෙවිය යුතු බවට අපි යෝජනා කරමු.
(v) ආපදා කළමනාකරණ සභාව ස්ථාපිත කර එය වහාම කැඳවීම
2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත අනුව ආපදා කළමනාකරණයේ ආණ්ඩු - විපක්ෂ ඒකාබද්ධ යාන්ත්‍රණය වන්නේ ඔබතුමාගේ සභාපතිත්වයෙන් කැඳවෙන ජාතික ආපදා කළමනාකරණ සභාවයි. නමුත් මේ දක්වා එම සභාව කැඳවීමට ඔබතුමා කටයුතු කර නොමැත. අවම වශයෙන් එම සභාවට අවශ්‍ය පත් කිරීම් ද මේ දක්වා සිදුකර නොමැත. එබැවින් ආපදා කළමනාකරණ ක්‍රියාවලියට විපක්ෂයේ දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව මග හැරී ඇත. එබැවින් ආපදා කළමනාකරණ සභාව කැඳවා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමස්ත ජාතියේ දායකත්වයෙන් සිදුවන ජාතික ක්‍රියාවලියක් බවට පත් කිරිමට අපි යෝජනා කරමු.
(vi) ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අමාත්‍යාංශයක් පිහිටුවීම
මෙම ව්‍යසනයෙන් පොදු සහ පෞද්ගලික දේපල වලට මෙන්ම ජීවිත වලට සිදු වුණු හානිය ද අතිමහත්ය. එබැවින් යටිතල පහසුකම් ඇතුළු පොදු දේපල ප්‍රතිසංස්කරණය කළ යුතුය. පෞද්ගලික දේපල වලට සිදුවුණු හානිය තක්සේරු කර වන්දි ලබා දිය යුතුය. රැකියා සහ ව්‍යාපාරික අවස්ථා අහිමි වූ අයට එවැනි අවස්ථා ඇති කර දිය යුතුය. එමෙන්ම බිඳුනු සිත් සුවපත් කළ යුතුය. මේ දැවැන්ත ක්‍රියාවලිය සම්බන්ධිකරණයට සහ අධීක්ෂණයට වෙනත් වගකීම් වලින් තොරව මේ සඳහා කැපවුණු කැබිනට් ඇමතිවරයෙකුගේ නායකත්වයෙන් අමාත්‍යාංශයක අවශ්‍යතාවයක් මතු වී තිබේ. එබැවින් ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අමාත්‍යාංශයක් පිහිටුවීමට අපි යෝජනා කරමු.
(vii) උපදේශන සේවා ලේකම් කාර්යාලයක් පිහිටුවීම
සමහර ශ්‍රී ලාංකිකයින් අද අත් විඳින්නේ බුදුන් දවස පටාචාරාව අත්විඳි ඉරණමයි. දෙමව්පියන්, දරුවන් සහ බිරිඳ ඇතුළු පවුලේ සමීපතමයින් සියළු දෙනා ඔවුන්ට අහිමි වී ඇත. උපන් දා සිට රැස් කළ සියළු වත්කම් ජල රකුසා රැගෙන ගොස්ය. එබැවින් ඔවුන් අද ජීවත් වුවත් මළවුන් වැනිය. ජීවිතයේ අපේක්ෂාවන් භංගත්වයට පත් වී ඇත. එබැවින් බිඳුනු වත්කම් යළි සැකසීමට වඩා බිඳුනු සිත් සුවපත් කිරීම වැදගත්ය. ඒ සඳහා වෘත්තීයවේදින්ගේ මග පෙන්වීම අවශ්‍යය. එබැවින් බිඳුනු සිත් ඇති ජනතාවට උපදේශන සේවා පැවැත්වීමට ආගමික නායකයින්ගේ මග පෙන්වීම යටතේ ස්වෙච්ඡා සේවකයින් පුහුණු කිරීම අවශ්‍යය. ඒ සඳහා වසරක කාලයක් සඳහා ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ උපදේශන සේවා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරමු.
(viii) ඉන්දියාව, චීනය, ජපානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යුරෝපීය සංගමයේ සම සභාපතිත්වයෙන් ලෝක ආධාර සමුළුවක් කැඳවීම
ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම සඳහා ඩොලර් බිලියන අටකට වඩා වැය විය හැකි බවට සමහර විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත. නමුත් එවැනි දැවැන්ත අරමුදලක් වුවත් රැස් කළ හැකි වාතාවරණයක් බිහි වී ඇත. ඒ 2022 දී ඇති වුණු ආර්ථික අර්බූදය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලෝක අවධානය යොමු වීමත් පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් විසින් ශ්‍රී ලංකාවට ආධාර කළ යුතුයැයි තම රටවල් තුල සමාජ මතයක් ගොඩ නගමින් සිටීමත්ය. එවැනි පසුබිමක ශ්‍රී ලංකා ආධාර ලෝක සමුළුවක් පැවැත්විය හැකි නම් රාජ්‍ය මට්ටමින් දැවැන්ත අරමුදලක් රැස් කිරීමේ හැකියාව ඇත. ඉන්දියාව, චීනය සහ ජපානය ආසියාවේ අන් රටවලට බලපෑම් කළ හැකි ආසියාවේ දැවැන්තයින් තිදෙනාය. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ධනවත් අරාබි රටවලට බලපෑම් කළ හැකි ශ්‍රී ලංකාවට සමීප රාජ්‍යයකි. යුරෝපීය සංගමය මැදිහත් කරගත යුත්තේ යුරෝපීය රාජ්‍යයන් ලංකාවට ආධාර කිරීමට පොළඹවා ගැනීම සඳහාය. ලෝක අවධානය තවත් රටක ව්‍යසනයකට යොමු වීමට පෙර මෙම ආධාර සමුළුව කැඳවීමට යුහුසුළු වීම විදෙස් අමාත්‍යාංශයේ වගකීමකි.
(ix) රාජ්‍ය නොවන සංවිධාන සමුළුවක් කැඳවීම
ජාත්‍යන්තර, විදේශීය සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන සතු සම්පත් සහ අත්දැකීම් රට යළි ගොඩ නැගීමට මනාව මුසු කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමුළුවක් කැඳවීමට ආණ්ඩුව උත්සුක විය යුතුය. ශ්‍රී ලංකාව තුල දැනටමත් සක්‍රිය රතු කුරුස හමුදාව වැනි ජාත්‍යන්තර සංවිධාන, සූ චී වැනි විදේශීය සංවිධාන සහ සර්වෝදය වැනි දේශීය සංවිධාන වලට මෙහි කැඳවුම්කරුවන් ලෙස කටයුතු කළ හැක.
(x) ණය ආපසු ගෙවීමේ සැලැස්ම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම
ආපදාව හේතුවෙන් ආණ්ඩුවේ ශුභසාධන වියදම බරපතල ලෙස ඉහළ යන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුමේ දැක්වෙන රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ ඉලක්ක ලඟා කර ගැනීම අභියෝගයක් වී ඇත. එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ උපකරණ ආනයනය කළ යුතු බැවින් විදේශ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉලක්ක ලඟා කර ගැනීම ද අභියෝගයක් වී ඇත. 2025 වසර අග වන විට භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 8.5ක් තිබිය යුතු වුවත් ආපදාව වන විටත් ඩොලර් බිලියන 4.5ක්වත් රැස් කර ගැනීමට අප අසමත් වී සිටි බව සිහිපත් කළ යුතුය. එබැවින් ණය ආපසු ගෙවීමේ සැලැස්ම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම කඩිනමින් ඇරඹිය යුතු බව අපගේ ස්ථාවරයයි.
(xi) නාය යෑමේ සහ නිරතුරු ජල ගැලීම් වලට ගොදුරු වීමේ අවදානමක් ඇති ජනතාවට විකල්ප ජනාවාස ලබා දීම
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතක නාය යෑමේ අවදානම ඇති කලාප හඳුනා ගෙන ඇත. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා ජල මට්ටම ඉහළ යෑම පිළිබඳ ඓතිහාසික තොරතුරු රැස් කර ඇත. එබැවින් ජනතාව නැවත පදිංචි කිරීමේ දී අවදානම් කලාප වල ජීවත් වුණු ජනතාවට විකල්ප ජනාවාස සැකසිය යුතුය. තව දුරටත් එකී කලාපයන් හී පදිංචි වී සිටින ජනතාව සිටිත් නම් ඔවුන්ට ද විකල්ප ජනාවාස ලබා දිය යුතුය.
(xii) ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය
ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයින් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට ජනතාව චෝදනා නගා ඇත. එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයෙන් මෙන්ම ස්වෙච්ඡා සංවිධාන විසින් ලබා දෙන සහන ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපෘති ලෙස හුවා දැක්වීමට ප්‍රාදේශීය දේශපාලකයින් වෙර දැරීම හේතුවෙන් ප්‍රදේශ ගණනාවක දේශපාලන ගැටුම් මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තා විය. සමස්ත ජාතියම එකමුතු විය යුතු අවස්ථාවක මෙවැනි ගැටුම් ඇතිවීම අතිශයින්ම ශෝචනීයය. එමෙන්ම ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය පලුදු වීමට ද මෙම මැදිහත්වීම් බලපා ඇත. එබැවින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිර්දේශපාලනිකරණය කර පක්ෂ භේදයකින් තොරව සමස්ත ජාතියම සහභාගි වන ජාතික වැඩසටහනක් බවට පත් කළ යුතු බවට අපි යෝජනා කරමු.
(xiii) හිටපු ජනාධිපතිවරුන්ගේ උපදේශාත්මක සහය ලබා ගැනීම
ශ්‍රී ලංකාවේ හිටපු සෑම ජනාධිපතිවරයෙකුටම දැවැන්ත ආපදාවකට මුහුණ දීමේ අත්දැකීම ඇත. සුනාමි ආපදාව සිදුවුණේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනපති තනතුර දරණ අවස්ථාවේය. යුද්ධයක් මැද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්වීම කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිදුවිය. පාස්කු ප්‍රහාරයට මුහුණ දීමට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සිදුවිය. ලෝක ප්‍රශංසාවට ලක් වුණු කෝවිඩ් මර්දන වැඩසටහනක් දියත් කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාය. ලෝක අවධානය දිනා ගනිමින් ඉතාම කෙටි කලකින් ශ්‍රී ලංකාව ආර්ථික අර්බූදයෙන් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමත් විය. එබැවින් එම ජනාධිපතිවරුන්ගේ අත්දැකීම් සහ ජාත්‍යන්තර සබඳතා මෙම අභියෝගාත්මක මොහොතේ ඔබතුමාට අතිශයින්ම වැදගත් වනු ඇත. එබැවින් ඔවුන්ගෙන් මෙම අභියෝගයට මුහුණ දීම පිළිබඳ උපදෙස් පැතීම ඔබතුමාට ශක්තියක් වනු ඇත.
(xiv) රාජ්‍ය යාන්ත්‍රණය සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය සේවයේ ගෞරවය දිනා ගත් පලපුරුදු පරිපාලන නිලධාරියෙකු ජනාධිපති ලේකම් තනතුරට පත් කිරීම
ජනාධිපති ලේකම්වරයා යනු ලක්ෂ පහලොවක් ඉක්මවන රාජ්‍ය සේවයේ ප්‍රධානියාය. අණ දෙන නිලධාරියාය. සෑම රාජ්‍ය සේවකයෙකුගේම ආදරය සහ ගෞරවය දිනා ගත් පියාණන්ය. එබැවින් ජනාධිපති ලේකම් තනතුර දැරුවේ ඩබ්ලිව් එම් පී බී මැණික්දිවෙල, කේ එච් ජේ විජේදාස, ලලිත් වීරතුංග, පී බී අබේකෝන්, ඔස්ටින් ප්‍රනාන්දු, පී බී ජයසුන්දර, ගාමිණි සෙනරත් සහ සමන් ඒකනායක වැනි පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයින්ය. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් පත් කලේ පරිපාලන අත්දැකීම් ඇති අයෙකු නොවුණත් පරිපාලන නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන කුසුම්සිරි බාලපටබැඳි මහතාය. නමුත් වත්මන් ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් දහ දහසටවත් අයත් නොවන කණිෂ්ඨ නිලධාරියෙකි. ආපදාව හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කර ගැනීමට නොහැකිවීමට ඔහුගේ අත්දැකීම් නොමැති කම මෙන්ම ඔහුට නිලධාරින් අතර ගෞරවයක් නොවීම ද තීරණාත්මක ලෙස බල පෑ බව ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මතයයි. එබැවින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස රාජ්‍ය සේවයේ ගෞරවයට පත් වුණු පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයෙකු ජනාධිපති ලේකම් ලෙස පත් කිරීමට අපි යෝජනා කරමු.
(xv) හදිසි ආපදාවක දී රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කිරීමට අවශ්‍ය පත්වීම් සිදු කිරීම
දිත්වා කුනාටුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ආපදාවක් සිදුවන විට ජාතික ආපදා සභාවට ලේකම්වරයෙකු සිටියේ නැත. ආරක්ෂක හමුදා අතර ඒකාබද්ධ මෙහෙයුම් සිදු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු පත් කර සිටියේ නැත. මෙවැනි වැදගත් තනතුරු පත් කිරීම අතපසු කිරීම දිත්වා කුනාටුවට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට බාධාවක් විය. එබැවින් මෙවැනි වැදගත් තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් පත් කිරීමට ක්ෂණිකව පියවර ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.
(xvi) ආපදාවට ලක්විය හැකි ජනතාවට ක්ෂණිකව ආපදාව පිළිබඳ අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් සැකසීම
වාන් දොරටු විවෘත කරන ප්‍රමාණය අනුව ජල ගැලීම් වලට ගොදුරු විය හැකි ප්‍රදේශ පිළිබඳ තොරතුරු බලධාරින් සතුව ඇත. එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට ජල ගැලීම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම සඳහා දුරකතන කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය සමූහ භාවිතා කළ හැක. එමෙන්ම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය වැනි පද්ධතිය ජල ගැලීම් සහ නාය යෑම් සිදුවිය හැකි ප්‍රදේශ වල ද ස්ථාපිත කල යුතුය.
(xvii) 2026 වසර සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීම
දිත්වා ව්‍යසනය හේතුවෙන් 2026 වසරේ යෝජිත ව්‍යාපෘති අහෝසි කිරීමෙන් හෝ සීමා කිරීමෙන් ප්‍රාග්ධන සහ ශුභසාධන වියදම් හී දිශානතිය වෙනස් කිරීමට ආණ්ඩුවට සිදු වී ඇත. එබැවින් නව අයවැයක් 2026 ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අපි යෝජනා කරමු.
(xviii) කැපකරු ක්‍රමවේදයන් බිහි කිරීම
සමස්ත විනාශය අතිශයින්ම දැවැන්ත බැවින් ආණ්ඩුවට එහි බර හුදකලාව දැරිය නොහැක. එබැවින් කැපකරු ක්‍රමවේද හරහා ප්‍රජා දායකත්වය ඊට ලබා ගත යුතුය. ආපදාවෙන් දෙමව්පියන් මිය ගිය දරුවන්ට සම්පත් සැපයීමට පමණක් නොව සෙනෙහස සහ මග පෙන්වීම ලබා දීමට ද කැපකරු මාපිය ක්‍රමය හඳුන්වා දිය යුතුය. ඒ අයුරින්ම විනාශ වී ඇති දහසකට අධික පාසල් ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් සහ ජාතික පාසල්වල දායකත්වය ලබා ගැනීමට කැපකරු පාසල් ක්‍රමය හඳුන්වා දිය යුතුය. එමෙන්ම විනාශ වුණු සිද්ධස්ථාන පිලිසකර කිරීම සඳහා සම්පත් බහුල ආගමික සිද්ධස්ථානයන් හී දායකත්වය ලබා ගැනීම සඳහා කැපකරු සිද්ධස්ථාන ක්‍රමය හඳුන්වා දිය යුතුය.
(xix) විපතට පත් වූවන්ට ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා දීම
විපතට පත් ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාර මුල සිටම ඇරඹීමට සිදු වී ඇත. මාසික ආදායම් ලබන අයට වුවත් තම ආදායමෙන් වැඩි කොටසක් වැය කිරීමට සිදු වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු වලටය. එබැවින් ඔවුන්ට සුපුරුදු පරිදි සිය මාසික ණය වාරික ගෙවීමේ හැකියාවක් නොමැත. එබැවින් ඔවුන්ගේ සියළුම ණය වාරික ආපසු ගෙවීම වසර දෙකකට අත්හිටුවීමට අපි යෝජනා කරමු.
(xx) විපතට පත් වූවන්ගේ දේපල වෙන්දේසි කිරිම වසර තුනකින් කල් දැමීම
විපතට පත් සමහර පුද්ගලයින් ආරක්ෂිත මධ්‍යස්ථාන වල සිටිය දී ඔවුන් ණය ගැනීම සඳහා උකසට තැබූ දේපල බැංකු මගින් වෙන්දේසි කරන බවට වූ දැන්වීම් ලැබී ඇත. එබැවින් විපතට පත් පුද්ගලයින්ගේ උකසට තැබූ දේපල වෙන්දේසි කිරීම වසර තුනකින් කල් දැමීමට අවශ්‍ය නීති සැකසීමට අපි යෝජනා කරමු.
(xxi) නිවාස ප්‍රතිසංස්කරණය සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීම
නිවසක් සම්පූර්ණයෙන් විනාශ වුණු අයට ආණ්ඩුව ලබා දෙන උපරිම ප්‍රදානය රුපියල් ලක්ෂ 50කි. මධ්‍යම පාන්තික නිවසක් ගොඩ නැගීම සඳහා එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එබැවින් නිවසේ වටිනාකම සහ ආධාරය අතර වෙනස පොලී රහිත දිගුකල් ණයක් ලෙස ලබා දීමට අපි යෝජනා කරමු.
(xxii) ව්‍යවසායකයින්ට කාරක ප්‍රාග්ධනය සැපයීම
ව්‍යාපාර යලි ඇරඹීමට අවශ්‍ය කරන කාරක ප්‍රාග්ධනය සැපයීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන පෙළෙඹවීම සඳහා නව මූල්‍ය උපකරණ හඳුන්වා දෙමින් ද අඩු පොලී ණය ලබා දෙමින් ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ යුතුය.
(xxiii) රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට සිදු කිරීමට ඇති සියළුම ගෙවීම් කඩිනමින් සිදු කිරීම
රාජ්‍ය අංශයට භාණ්ඩ සහ සේවා සැපයීම වෙනුවෙන් පෞද්ගලික අංශයට ගෙවීමට ඇති මුදල අතිශයින්ම දැවැන්තය. එම මුදල් කඩිනමින් ගෙවා දැමීමෙන් එම ව්‍යාපාර ආපදාව හමුවේ මුහුණ දී ඇති කාරක ප්‍රාග්ධන හිඟය යම් දුරකට සමනය වනු ඇත. එමෙන්ම ජනතාව අතර මුදල් සංසරණය වීමෙන් ආපදා තත්වයෙන් මිදීමට එය අස්වැසුමක් වනු ඇත.
(xxiv) ආහාර සුරක්ෂිත වැඩසටහනක් ක්ෂණිකව සැකසීම
ආපදාව හේතුවෙන් ඉදිරි මාස හතර තුල දැවැන්ත එලවළු සහ පලතුරු හිඟයක් ඇති වීමේ අවදානමක් ඇත. එමෙන්ම 2026 වසරේ සහල් සහ පොල් අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වනු ඇත. මෙම අවශ්‍යතා පිළිබඳ ගණනයක් කිරීමක් සිදු කර ආනයනය කිරීමට වැඩපිලිවෙලක් සැකසීමට ආණ්ඩුව කටයුතු නොකලොත් නුදුරු අනාගතයේ ආහාර අර්බූදයක් මතු වීමේ අවදානමක් ඇත.
(xxv) නාගරික කෘෂිකර්මය ඇතුළු ගෙවතු වගාව ප්‍රචලිත කිරීම
ආහාර අර්බූදයට මුහුණ දීම සඳහා බීජ, පොහොර සහ කෘෂි උපදෙස් ආණ්ඩුව මගින් නොමිලේ ලබා දෙමින් ජනතාව ගෙවතු වගාවට යොමු කළ යුතුය. අඩු ඉඩ තුල ජීවත් වන ජනතාවට මෙන්ම මහල් නිවාසවල ජීවත් වන ජනතාවට ද වගාවට එක් වීම සඳහා නාගරික කෘෂිකර්මය ඔවුන්ට හඳුන්වා දිය යුතුය. මෙම ගෙවතු වගා වැඩසටහන හුදු ආහාර අර්බූදයට පිලියමක් පමණක් නොව ජනතාවගේ බිඳුනු සිත් සුවපත් කරන සාමුහිකත්වය වර්ධනය කරන ආත්ම විශ්වාසය වඩවන වැඩසටහනක් බවට ප්‍රචාරය තුලින් පත් කළ යුතුය.
මෙයට දේශප්‍රේමිත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
උදය ගම්මන්පිල
නායක

උඹගේ උපදෙස් ගත්තොත් මාලිමාවට දෙයියන්ගේම පිහිටයි.ඔය උපදෙස් දීපන් උඹගේ කුමාරයාට.
ReplyDeleteඇත්ත මරණ ගනන 3000 - 4000 අතර. ආන්ඩුව ඒ බව හංගනවා. මේ මරන වලට ආන්ඩුව වගකියන්න ඕන. කුනාටුව එන බව දැන දැනත් කිසිම විදිහකින් ජනතාව දැනුවත් කලේ නෑ. ඒ වගේම ජලාශ හිස් කරන්න දුන්නේ නෑ. අපරාදේ අහිංසක ජීවිත නැති වුනා.
Deleteබොරු කියා රට ගිනි තියා අයිස් කාරය රැක ගනිමු.. විපක්සය එක්වෙමු ....
ReplyDelete