අපට බාල බෙහෙත් එවුවේ ඇයි.. ඉන්දියාවෙන් අහයි...

 


ශ්‍රී ලංකාවේ භාවිත වන ඇතැම් ඉන්දියානු ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති බරපතල ගැටලු පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංසදය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ 'Man Pharmaceuticals' ආයතනය නිෂ්පාදනය කළ Ondansetron එන්නත ලබා දීමෙන් පසු රෝගීන්ට ඇති වූ සංකූලතා පිළිබඳව වාර්තා වී ඇති බවයි. 

මහනුවර ජාතික රෝහලේ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණ මගින් අදාළ එන්නත් සාම්පලවල බැක්ටීරියා දූෂණයක් පවතින බව අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ වාර්තා පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර ඇති අතර, ඒ අනුව අදාළ Ondansetron එන්නත භාවිතය වහාම අත්හිටුවා තිබේ.

මීට අමතරව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) සිදු වූ මරණයකට ද මෙම නිෂ්පාදනය හේතු වී ඇති බවට පවතින සැකය මත, 'Man Pharmaceuticals' ආයතනය නිෂ්පාදනය කළ තවත් එන්නත් වර්ග 09ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒවායේ විෂබීජවලින් තොර බව (Sterility) සහ ක්ෂුද්‍රජීවී ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) හරහා මෙරටට ආනයනය කර ඇති මෙම එන්නත් සඳහා ඉන්දියාවේ OASIS Test House සහ SIPRA Laboratories ආයතන මගින් සම්පූර්ණ විශ්ලේෂණ වාර්තා (Full Analytical Reports) නිකුත් කර තිබූ බව එම ලිපියෙහි සඳහන් වේ. අමෙරිකානු ඖෂධ සංග්‍රහයේ (USP) ප්‍රමිතීන්ට අනුකූල බවට එම වාර්තා මගින් සහතික කර තිබියදීත්, බැක්ටීරියා දූෂණයන් හඳුනා ගැනීම මගින් අදාළ රසායනාගාර වාර්තාවල නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත.

ශ්‍රී ලංකාවේ භාවිත වන ඖෂධවලින් 60% ක්ම ඉන්දියානු නිෂ්පාදන වන අතර, නව රජය ඉන්දියානු ඖෂධ සංග්‍රහය (Indian Pharmacopoeia) මෙරට ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය තුළ ඉන්දියානු ඖෂධ කෙරෙහි මහජනතාව තුළ අනියත බියක් හෝ අවිශ්වාසයක් ඇතිවීම වැළැක්වීම අතිශය වැදගත් බව විද්වත් කලාපය පෙන්වා දෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දෙන ලෙසත් ඖෂධ සැපයුම් දාමයේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත්ය.

මෙම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් වෙත ද යොමු කර ඇත

1 Comments

  1. අවුරුදු 76 හොරුන්ගේ high standard වගේද හොරකම් කරන හැටිවත් දන්නැති සත්ගුණවත් මාලිමන්ඩුවේ low standard.

    ReplyDelete
Previous Post Next Post