බිමල් ජයසිංහ-බණ්ඩාරගම
'තෝ ග්‍රාම සේවක මොකා වුණත් කමක් නෑ.. බැල්ලි තොට ආයේ මේකේ වැඩ කරන්න දෙන්නෙ නැහැ..මමයි මේකේ මන්ත්‍රි' යැයි කියමින් පරුෂ වචන යොදාගනිමින් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් රෝහණ නමැත්තා තමාට මරණ තර්ජනය කළ බව පවසමින් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මංගලඑළිය ග්‍රාම නිලධාරිවරිය මූන්දලම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
තමන් තම වසමේ ආපදා තත්ත්වයෙන් අවතැන් වී සිටි ජනතාවට මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබාදුන් පානීය ජලය අඩංගු බෝතල් බෙදාහැරීම සිදු කළ බවත් එදින මංගලඑළියේ සමිඳුගම මාර්ගයේදී තමන් ගමන් ගත් යතුරු පැදිය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් රෝහණ විසින් පදවාගෙන ආ කළු පැහැති ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයකින් අනතුරට ලක්කළ බවත් පසුව ලොරී රථයෙන් බැස ආ මන්ත්‍රිවරයා තම වමත දිගු කර තමාට ඒ ආකාරයෙන් බැණ වැදුනු බවත් ග්‍රාම නිලධාරිනිය විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
එම තර්ජනය කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා පිටව ගොස් ඇති අතර මන්ත්‍රිවරයා පැමිණි ලොරියේ ලියාපදිංචි අංකය එන් ඩබ්ලිව් -පී ඩබ්ලිව් 5907 පැමිණිලිකාර ග්‍රාම නිලධාරිනිය විසින් සටහන් කරගෙන ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම ග්‍රාම නිලධාරිනිය විසින් මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරියට දුරකථන ඇමතුමක් ලබා දී දැනුම් වත් කර ඇති අතර "යම්කිසි ප්‍රශ්නයක් ඇතිවුණාද මම ඔතනට එන්නම්" යැයි පවසා ප්‍රාදේශීය ලේකම්වරිය එම ස්ථානයට පැමිණ දෙපාර්ශ්වය කැඳවා ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙස දැනුවත් කර ගැටුම නිරාකරණය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එයින් දින දෙකකට පසු ආපදා කමිටුව මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබී ඇති අතර එහිදීද ප්‍රාදේශීය ලේකම්තුමිය ග්‍රාම නිලධාරිනිය හා ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරයා හට ගැටුම් වලින් තොරව එකට එක්ව කටයුතු කරන ලෙසට පවසා ඇතැයි පොලිසිය කියයි.
නමුත් එදිනද මන්ත්‍රිවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ග්‍රාම නිලධාරිනියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දෙමින් තමන්ගේ මහ ගෙදරට වතුර ලබා නොදුන්නේ ඇයිද යන්න විමසා තර්ජනය කර ඇති බවත් මීට ඉහතදීද එනම් 5වැනිදා ද මන්ත්‍රිවරයා විසින් ආපදාවට ලක්ව ඇති අයවලුන්ට බෙදා දීමට තිබූ වතුර බෝතල් රැගෙන ගොස් තිබූ බවත් ඒ සම්බන්ධව ආර්ථික සංවර්ධන නිලධාරියා මෙම මන්ත්‍රිවරයාගෙන් විමසීමේදී එදිනද තමන්ට හා ආර්ථික සංවර්ධන නිලධාරියා හට බැණ තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
අවස්ථා දෙකකදී ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් මෙම බැණ තර්ජනය කිරීම සම්බන්ධව සමථයට පත් කිරීම හේතුවෙන් මෙම සිද්ධීන් සම්බන්ධව පැමිණිලි නොකළ බවත් තමන් අදාළ ග්‍රාම සේවා වසමෙන් ඉවත්ව යාම තුළත් තමාට දෝෂාරෝපණයන් සිදුකරන බැවින් මේ සම්බන්ධව පැමිණිලි කළ බවත් ග්‍රාම නිලධාරීනිය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මුන්දලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකෙරේ.
Aruna

පිරිහීමේ ලක්ෂණ පටන්ගෙන නේද? අනාගත්ත රජාට වෙච්ච දේ දැනටම අමතක වෙලා....
ReplyDelete