කබ්රාල්ගේ නඩුව ඉවරයි.. යලි නඩු පවරන්නවත් බෑ..- දුෂණ මර්ධන පනත හැදු විජේදාස


 හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ තවත් සිව්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්‍ෂ මහතා විසින් අදහස් පල කරයි. 

2023 දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ එවකට අධිකරණ ඇමතිවරයා වූ රාජපක්‍ෂ මහතා පෙන්වා දෙන්නේ, නඩුව ඉල්ලා අස්කර ගැනීම සිදු කර ඇති ආකාරය අනුව, අල්ලස් කොමිසමට නැවත නඩු පැවරීමේ අයිතියක් අධිකරණ තීන්දුව තුළ රඳවා තබා නොමැති බවයි.

මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන් වූ පරිදි, මෙම නඩුවේදී චූදිතයන් ‘නිදොස් කොට නිදහස් කිරීමක්’ සිදු කළ නොහැකි බව ජනාධිපති නීතීඥවරයා අවධාරණය කරයි. 

නඩු විභාගයකින් තොරව පැමිණිල්ල විසින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා අධිකරණයට කළ හැක්කේ ‘නිදහස් කිරීමක්’ පමණක් බවත් ඔහු පැහැදිලි කරයි.

මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ දූෂණ විරෝධී පනතේ 67 වැනි වගන්තිය යටතේ බව සඳහන් වේ. රාජපක්‍ෂ මහතා පවසන්නේ, තමන් විසින් එම වගන්තිය පනතට ඇතුළත් කළේ, ඇතැම් නඩුවලදී සාක්ෂි සොයා ගැනීමේ අපහසුතා හෝ පවතින සාක්ෂි දුර්වල වීම වැනි හේතු මත දීර්ඝ කාලයක් නඩු විභාග කර අධිකරණ කාලය නාස්ති වී අවසානයේ චූදිතයන් නිදහස් වීම වළක්වා ගැනීමට හෝ සමථයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියකට එළඹීමට ඉඩ සැලසීම සඳහා බවයි.

67 වගන්තියේ විධිවිධාන යටතේ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට නම්, චූදිතයන් යම් කොන්දේසි හතරකට හෝ වැඩි ගණනකට එකඟ විය යුතු අතර, එම එකඟතාව අධිකරණයේ වාර්තාගත කළ යුතු වේ. 

එම කොන්දේසි වන්නේ:

  1. සිදු කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගැනීම.
  2. වරද නිසා වින්දිත පාර්ශ්වයට වූ අලාභය නිශ්චිත දිනයකට පෙර ගෙවීම.
  3. වරද ප්‍රසිද්ධියේ පිළිගෙන අනාගතයේ එවැනි වැරදි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක් දීම.
  4. ඉදිරියේදී තෝරාපත් කරගනු ලබන (මැතිවරණයෙන් පත්වන) හෝ පත් කරනු ලබන රජයේ තනතුරක් දැරීමේ අයිතියක් නොමැති බව පිළිගැනීම.

කෙසේ වෙතත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ නඩු කටයුත්තේදී 67 වගන්තිය යටතේ ඉල්ලා අස්කර ගැනීමට අදාළ කිසිදු එකඟතාවක් අධිකරණයට වාර්තා කර නොමැති බව රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. 

නඩු වාර්තාවල පැහැදිලිව සඳහන් වන්නේ, චූදිතයන් කිසිදු එකඟතාවයකට එළඹී නොමැති බවත්, මුදල් ගෙවන්නේ නැති බවට ප්‍රකාශ කර ඇති බවත්ය.

අල්ලස් කොමිසම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මාස තුනක් ඇතුළත අලාබ වූ මුදල නොගෙවන්නේ නම් නැවත නඩු පවරන බවයි.

නමුත් විජේදාස රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ, 67 වගන්තිය යටතේ ඉල්ලා අස් කර ගන්නේ නම් පමණක්, නැවත නඩුවක් පැවරීමේ හැකියාව ලැබෙන්නේ ඒ සඳහා කොන්දේසි සපුරා ඇත්නම් පමණක් බවයි. 

මේ අවස්ථාවේදී, එනම් කිසිදු එකඟතාවක් නඩු තීන්දුවට ඇතුළත් කර නොමැති බැවින්, අල්ලස් හෝ දූෂණ කොමිසමට නැවත නඩු පැවරීමට කිසිදු අයිතිවාසිකමක් එම තීන්දුව තුළ රඳවා තබා නැත.

මෙහිදී චෝදනාව වූයේ අල්ලස් ලබා ගැනීමක් නොව, රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධ දූෂණ චෝදනාවක් බවත්, පාඩුව ලෙස සඳහන්  මුදල චූදිතයන් අතේ තිබෙන මුදලක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය



5 Comments

  1. දේශපාලන ගණිකා දාස

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියනවට බයද? රිදුනද?

      Delete
    2. ඇත්ත කියනවට නෙමේ සහෝදරයා. දුකයි ලංකාවේ මිනිස්සු ගැන. අපි අද වෙන රටවල් වල සුඛෝපභෝගී ජීවිත ගෙව්වට, ලංකාවට ආදරෙයි තාමත්. ඒත් මේ වගේ කාලකන්නි නීතියට හිනා වෙන එක ගැන දුකයි. ආණ්ඩුව මේ ගැන දැඩි ක්‍රියාමාර්ග ගනීවි කියල හිතනවා.

      Delete
  2. අල්ලස් කොමිසම වැරදි ප්‍රකාශනයක් නිකුත් කළේ ඇයි? නොදැනුවත් කමින්ද, නැත්නම් හිතා මතා මහජනතාව නොමඟ යැවීමට ද? දෙකෙන් කවරක් වුණත් මේ සාවද්‍ය නිවේදනය අනුමත කළ පුද්ගලයා වහා මහජනතාවගෙන් සමාව අයැද ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව මඟින් අස් කළ යුතුයි.

    ReplyDelete
  3. Allas komisame lokkage pathweemata wiruddawa nadu daala thiyenawane. Ekka rajja seewa komisamata boru kiyala maalimaa/ JVP deepu pathweemak JVP/Maaalimawe allas nadu wahaganna.

    ReplyDelete
Previous Post Next Post