රජය හඳුන්වා දීමට උත්සාහ කරන නව විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම වහල මත සවිකරන සූර්ය බල පද්ධති හිමිකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රැලපනාව මහතා අනාවරණය කරයි.
දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, දැනටමත් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කර ඇති පුද්ගලයන්ට විදුලි ගාස්තු ගෙවීමට සිදුවන ආකාරයේ තත්ත්වයක් මේ හරහා නිර්මාණය වී ඇති බවයි.
ආචාර්ය රැලපනාව පවසන පරිදි, මේ වසරේ ජුනි මාසය වන විට සූර්ය බල පද්ධති හිමිකරුවන් සියලු දෙනා 'Time of Use' (ToU) නම් නව ගාස්තු ක්‍රමයට අනිවාර්යයෙන්ම මාරු කිරීමට නියමිතය.
මෙම ක්‍රමය යටතේ දවල් කාලයේ ජනනය කරන විදුලිය සඳහා ලැබෙන ගෙවීමට වඩා වැඩි මුදලක් රාත්‍රී කාලයේ පරිභෝජනය කරන විදුලිය සඳහා ගෙවීමට සිදුවේ.
නිදසුනක් ලෙස, රාත්‍රී කාලයේ ඒකකයක මිල රුපියල් 67ක් දක්වා ඉහළ අගයක් ගන්නා අතර, දවල් කාලයේ විදුලිය ජනනය කිරීම වෙනුවෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 20ක් වැනි සුළු මුදලකි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, සූර්ය බල පද්ධතියක් සවිකිරීමට පෙර තිබූ විදුලි බිලට වඩා වැඩි බිලක් පද්ධතිය සවිකිරීමෙන් පසු ගෙවීමට සිදුවන තත්ත්වයක් උදාවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
බොහෝ පාරිභෝගිකයන් සූර්ය බල පද්ධති සවිකර ඇත්තේ බැංකු ණය ලබාගනිමින්, එමගින් ඉතිරි වන විදුලි බිලෙන් ණය වාරික ගෙවීමේ අපේක්ෂාවෙනි.
එහෙත් නව ක්‍රමය යටතේ විදුලි බිල දක්වා ඉහළ යා හැකි බැවින්, අදාළ ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වී ඔවුන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇත.
මෙය රජය සහ එහි ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය තැබූ ආයෝජකයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමක් බව රැලපනාව මහතා පවසයි.
ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට පන්සල්, පල්ලි සහ කෝවිල් 5000ක සූර්ය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෙම නව ප්‍රතිපත්තිය නිසා ආගමික ස්ථානවලට ද වාසියක් වෙනුවට අවාසියක් සිදුවිය හැකිය. විශේෂයෙන්ම ආගමික ස්ථානවල වැඩිම විදුලි පරිභෝජනයක් සිදුවන්නේ රාත්‍රී කාලයේ බැවින්, සූර්ය බල පද්ධතියක් තිබියදී පවා පෙරට වඩා වැඩි බිලක් ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇත.
මේ වන විට මෙරට වහල මත සවිකර ඇති සූර්ය බල පද්ධති මගින් මෙගාවොට් 2100ක ධාරිතාවක් ජනනය කෙරේ. මෙම අසාධාරණ ප්‍රතිපත්ති නිසා පාරිභෝගිකයන් සිය පද්ධති අක්‍රිය කළහොත්, දවල් කාලයේ විදුලිය ජනනය කිරීමට රජයට අධික පිරිවැයක් දරා තෙල් පුළුස්සන්නට සිදුවේ. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ සියලුම ජනතාවගේ විදුලි බිල තවදුරටත් ඉහළ යාමයි.
තවද, විදුලිබල මණ්ඩලය බැටරි ගබඩා පද්ධති (Battery Storage) සකස් කිරීම ප්‍රමාද කිරීම නිසා, වසරකට දින 150ක් පමණ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කපා හැරීමට සිදුවන අතර ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු නොකිරීමට ද තීරණය කර ඇත. මෙය සමස්ත ක්ෂේත්‍රයේම ප්‍රගතියට බාධාවක් බව ආචාර්ය විදුර රැලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

කෑගහන්න එපා. මේක තමයි පුනරුදය
ReplyDeleteවිදුර රැලපනාවද විදුර රාජපක්‍ෂද
Delete