ශ්‍රී ලංකාවේ සමස්ත සේවා නියුක්ත ජනගහනයෙන් 22.8%ක්, එනම් සේවකයන් මිලියන 1.83කගේ පමණ රැකියා සුරක්ෂිතතාව කෙරෙහි කෘතිම බුද්ධි තාක්ෂණය සෘජුවම බලපෑම් කළ හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
පවත්නා දත්ත විශ්ලේෂණය කිරීමට පමණක් සීමා නොවී, අලුතින් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතින උසස් තාක්ෂණික මෙවලමක් ලෙස ‘GenAI’ හඳුනාගත හැකිය.
2023 වසරේ ශ්‍රම බලකා සමීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් 2025 වසරේදී නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, මෙරට විවිධ වෘත්තීන් රැසක් මේ හරහා වෙනස්කම්වලට භාජනය වීමේ අවදානමක් පවතී.
මෙම පර්යේෂණයට අනුව, GenAI තාක්ෂණයට නිරාවරණය විය හැකි සේවකයන් අතරින් 187,000කට අධික පිරිසක් ඉතා ඉහළ අවදානම් මට්ටමක පසුවෙති.
ඉන් බහුතරය, එනම් 179,290ක්ම ලිපිකරු හෝ ලිපිකරු සහාය සේවාවල නියුතු වූවන් වීම විශේෂත්වයකි. ඔවුන්ගේ දෛනික රාජකාරි බොහොමයක් මෙම නව තාක්ෂණය හරහා සෘජුවම අභියෝගයට ලක්විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මීට අමතරව, වෘත්තිකයන්, තාක්ෂණික ශිල්පීන් සහ ලිපිකරු සේවයේ තවත් පිරිසක් ඇතුළු සේවකයන් 142,000ක් පමණ මෙම තාක්ෂණයේ වර්ධනයත් සමඟ වැඩි වැඩියෙන් මෙයට නිරාවරණය වීමේ හැකියාව පවතී.
කෙසේ වෙතත්, මෙරට ශ්‍රම බලකායෙන් විශාල පිරිසකට මෙම තාක්ෂණයෙන් එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බවද වාර්තාව සඳහන් කරයි.
