බාල ගල් අගුරුවලින් විදුලි උත්පාදනෙයන් දිනපතා විශාල පාඩුවක්..

 


ලංකා විදුලිබල මණ්ඩලය බාල ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 75ක අතිවිශාල මූල්‍ය අලාභයක් සිදුවන බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) චෝදනා කරයි. 

මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සහ නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ලබාගත් පරීක්ෂණ වාර්තා වහාම ප්‍රසිද්ධියට පත් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, අදාළ ගල්අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නතර කිරීමටත්, නොරොච්චෝල බලාගාරයේ අභ්‍යන්තර වාර්තා නිකුත් කිරීම වැළැක්වීමටත් විෂය භාර අමාත්‍යවරයා මැදිහත් වී ඇති බවයි. එසේම ඉන්දියාවේ පරීක්ෂණාගාර මගින් සිදුකරන වැඩිදුර පරීක්ෂණ අත්හිටුවන ලෙස උපදෙස් දී ඇති බවට ද ඔහු චෝදනා කළේය.

"අදාළ සොයාගැනීම් යටපත් කිරීමට උත්සාහ කළද, ගල්අඟුරු ටෙන්ඩරයට අදාළ වාර්තාව මේ වන විට අප සතුයි. ආනයනික ගල්අඟුරු තොගවල තාපජ අගය තිබිය යුතු සම්මත මට්ටම වන කිලෝ කැලරි 19,100කට වඩා අඩු බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා," යැයි ධම්මික මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ ගල්අඟුරු නැව් තොග තුනක් මෙරටට ගෙන්වා ඇති බවයි. එහි පළමු තොගය ජනවාරි 2 සහ 9 අතර ලැබී ඇති අතර, දෙවන තොගය භාවිතයට ගෙන නොමැත. එහෙත් තෙවන නැව් තොගයේ ගල්අඟුරු විදුලි උත්පාදනය සඳහා භාවිත කිරීම හේතුවෙන් බරපතල පාඩු සිදුව ඇති බවත්, ඒ හරහා එක් ජනක යන්ත්‍රයකින් මෙගාවොට් 15 බැගින් ජනක යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 45ක ධාරිතාවක් අහිමි වී ඇති බවත් ඔහු පැවසීය. සමස්තයක් ලෙස මෙගාවොට් 100ක පමණ විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වීම නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක් සිදුවන බව සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිගත්තේ ලක්විජය බලාගාරය සඳහා ගෙන එන ලද ගල්අඟුරු තොග නියමිත ප්‍රමිතියෙන් තොර බවයි. ඉන්දියාවට යවන ලද සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය නොමැති බව තහවුරු වී ඇතැයි කළුතරදී මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, ටෙන්ඩර් ක්‍රියාවලියේ කිසිදු ගැටලුවක් නොමැති බවත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ සමාගමට එරෙහිව දෙගුණයක දඩ මුදලක් අය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

"පළමු මෙට්‍රික් ටොන් 60,000 මෙරටට ගොඩබෑමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී ප්‍රමිතිය බාල බව හෙළි වුණා. ඒ නිසා අපි අදාළ සමාගමට දඩ පැනවීමට කටයුතු කරනවා. දෙවන සහ තෙවන නැව් තොග ද ගොඩබෑමෙන් පසු පරීක්ෂණ සඳහා යොමු කරනවා. ප්‍රමිතිය නොමැති නම් අනිවාර්යයෙන්ම දඩ මුදල් අය කර ගන්නවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post