‘බටහිර අර්ධ ගෝලය අපේ.. වහා පිටවෙනු..’ ඇමරිකාව චීනයට දන්වයි..

 


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මත වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමත් සමඟ, චීනය සහ අමෙරිකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් තම වැඩිමහල් සහෝදරයා ලෙස හඳුන්වමින් මදුරෝ ප්‍රශංසා කර පැය කිහිපයක් ගත වීමටත් පෙර, අමෙරිකානු හමුදා කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරන චීනය, අමෙරිකාව "ලෝක විනිසුරුවරයෙකු" ලෙස ක්‍රියා කරන බවට චෝදනා කරයි. ජාත්‍යන්තර නීතිය යටතේ සෑම රටකම ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරැකිය යුතු බව අවධාරණය කරන බීජිං පාලනය, මෙය අමෙරිකාව විසින් සිදු කරන ලද සාහසික මැරකමක් ලෙස හඳුන්වා දී ඇත.

වෙනිසියුලාව යනු දකුණු ඇමරිකාව තුළ චීනයේ සමීපතම හවුල්කරුවෙකු වන අතර, 2000 වසරේ සිට 2023 දක්වා කාලය තුළ චීනය එරට දුම්රිය මාර්ග, බලාගාර සහ යටිතල පහසුකම් වෙනුවෙන් ඩොලර් බිලියන 100කට අධික මුදලක් ආයෝජනය කර තිබේ. මීට අමතරව, පසුගිය වසරේ වෙනිසියුලාවේ තෙල් අපනයනයෙන් 80%ක්ම ලබාගෙන ඇත්තේ චීනය විසිනි. 

මෙම අත්අඩංගුවට ගැනීම සහ පවතින අවිශ්චිතතාවය හේතුවෙන් වෙනිසියුලාව චීනයට ගෙවිය යුතු ඩොලර් බිලියන 10ක ණය මුදල සහ චීන සමාගම්වල දේපළ අවදානමකට ලක්විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර ඇත්තේ, බටහිර අර්ධගෝලය තුළ අමෙරිකාවේ ප්‍රතිවාදීන්ට හෝ තරඟකරුවන්ට මෙහෙයුම් සිදු කිරීමට ඉඩ නොදෙන බවයි. මෙය චීනය වෙත එල්ල කළ "පිටව යන්න" යන පණිවිඩයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.

මෙම හදිසි වෙනස්වීම් හමුවේ චීනය ඉතා කල්පනාකාරීව සිය මීළඟ පියවර තීරණය කරනු ඇත. අමෙරිකාවේ මෙම හදිසි මැදිහත්වීම තායිවානය වැනි කලාපීය ප්‍රශ්න කෙරෙහි කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්දැයි බීජිං පාලනය විමසිල්ලෙන් පසුවෙයි. 

ට්‍රම්ප් පාලනයේ පවතින අස්ථාවර භාවය හමුවේ, චීනය තමන් වඩාත් ස්ථාවර සහ විශ්වාසවන්ත ලෝක නායකත්වයක් ලෙස තහවුරු කිරීමට මෙම අවස්ථාව භාවිතා කරනු ඇති බවත් ඇතැම් විචාරකයන් පෙන්වා දෙයි.

Previous Post Next Post