සුගතදාස ක්‍රීඩාංගණය වසා දමයි..


 ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් හේතුවෙන් කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය ඊයේ (07) සිට භාවිතයට නොගන්නා බව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය නිවේදනය කරයි. 

ලබන 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එහි පාපන්දු පිටියේ තණකොළ අලුතින් ඇතිරීම සඳහා බව එම අධිකාරියේ සභාපති රංජිත් විමලරත්න මහතා තහවුරු කළේය.

ක්‍රීඩාංගණය වසා දැමීම නිසා නිවාසාන්තර ක්‍රීඩා උත්සව සංවිධානය කර තිබූ පාසල් පීඩාවට පත්ව ඇති බවට පළවන වාර්තා සභාපතිවරයා ප්‍රතික්ෂේප කරයි. 

ඔහු අවධාරණය කළේ අදාළ කාල සීමාව තුළ කිසිදු පාසලක් නිල වශයෙන් ක්‍රීඩාංගණය වෙන් කරවාගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, එම කාලය තුළ උත්සව පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටි පාසල් වෙත දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය විකල්පයක් ලෙස භාවිත කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පිටිය වසා තැබුණද, ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකයන්ගේ දෛනික පුහුණු කටයුතු සඳහා ධාවන පථය භාවිත කිරීමට බාධාවක් නොමැති බව අධිකාරිය පවසයි.

Previous Post Next Post