ප්‍රධාන මාර්ග පද්ධතිය තුළ අනතුරුදායක ලෙස යතුරුපැදි පදවන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් නිකුත් කර තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.
වර්තමානයේ තරුණ ප්‍රජාව අතර පවතින අන්තරාදායක යතුරුපැදි සංස්කෘතිය පිළිබඳව ඔහු දැඩි අවධානය යොමු කළේය. විශේෂයෙන්ම අධි බලැති යතුරුපැදි යොදාගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියා වහාම නතර කළ යුතු බවත්, එවැනි වාහන අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
යතුරුපැදියක් යනු ප්‍රවාහන පහසුව සලසා ගත යුතු මාධ්‍යයක් මිස මහමග ධාවන තරග පැවැත්වීමට හෝ පදිකයන් සහ විනයගරුක රියදුරන් පීඩාවට පත් කිරීමට ඇති මෙවලමක් නොවන බව ඒ මහතා අවධාරණය කළේය.
බලපත්‍ර රහිතව සහ බාලවයස්කාර දරුවන් යතුරුපැදි ධාවනය කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් සේනාධීර මහතා, මෑතකදී සිදු වූ මාරක අනතුරක් සහ එහි අවමංගල්‍ය උත්සවයේදී පවා තරුණයින් නීති විරෝධී ලෙස හැසිරුණු ආකාරය නිදසුන් ලෙස පෙන්වා දුන්නේය.
අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරී ලෙස රිය පදවන්නන්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස රථවාහන අංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

බයිසිකලේ රෝද දෙකක් දාලා එවන්නේ ඒ දෙකෙන්ම යන්න නේද?
ReplyDelete