සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනඟන සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බව සමගි වනිතා බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.
“පක්ෂ දෙකේ එකතුව සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතිනවා. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට එහි උපදේශක ලෙස කටයුතු කරයි. මේ වන විට පක්ෂ දෙක බිම් මට්ටමින් එකතු වෙමින් තිබෙනවා. හරි වෙලාවට ඉහළ නායකත්වය එකතුවීම සිදු වෙයි. පසුගියදා විපක්ෂ නායකවරයාගේ උපන් දින උත්සවයට එජාපයේ හිටපු මැති ඇමැතිවරුන් සහභාගි වුණා. එය හොඳ ආරම්භයක්. විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතාට මේ ගොඩනැඟෙන සන්ධානයේ නායකත්වය හිමි විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. සක්‍රිය දේශපාලනයේ නිරත වෙන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. රට මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නෙත් තරුණ නායකත්වයක්. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් මේ පක්ෂ දෙක එකතු වෙලා තරග කරයි.
රටේ අනාගතය ගැන කල්පනා කළත් මේ එකතුවීම අත්‍යවශ්‍ය බව තමයි අපේ හැඟීම. ආණ්ඩුව කරන හොඳ දේට සහයෝගය දෙන්න අප සූදානම්. මේ රටේ ජනතාවට, ඉදිරි පරම්පරාවට ආණ්ඩුව වැරදි දෙයක් කරනවා නම් විපක්ෂයේ වගකීම සහ මූලික කාර්යභාරය ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළ කිරීමයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන මතයේ අප සිටිනවා. හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ ප්රශ්නය සම්බන්ධයෙන් විපක්ෂය වගේම ගුරුවරුන් සහ මවුපියන් ද විරෝධය දැක්වූවා. අගමැතිනිය මහනායක හිමිවරුන් හමුවට පැමිණ වරදක් සිදුව තිබෙන බව පිළිගත්තා. නවීන ලෝකයට ගැළපෙන ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.”
අසේල කුරුළුවංශ

සජිත් තරුණයෙක්ද? අනේ මන්ද, කාටද පිස්සු කියල?
ReplyDelete