මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ මාධ්‍යවේදියාගෙන් සමාව අයැද තිබේ.
පසුගිය ජනවාරි 02 වැනිදා මානව හිමිකම් කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයක් සහ කටඋත්තරයක් ලබාදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස සමාව අයැද සිටි අතර, මාධ්‍යවේදියාට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට ද එහිදී එකඟතාව පළ විය.
2024 ඔක්තෝබර් 03 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර, සරසවි ප්‍රදර්ශන කුටියකදී පාරිභෝගිකයෙකුට පහරදීමේ සිදුවීමක් වාර්තා කිරීමට යාමේදී කල්ප ගුණරත්න මහතා අත්අඩංගුවට පත් විය. එහිදී ඔහු පැය පහකට ආසන්න කාලයක් කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගැනිණි.
තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට මාධ්‍යවේදියා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු සහ කුරුඳුවත්ත පොලිසියේ එවකට ස්ථානාධිපති ආලෝක සේනානායක යන මහත්වරුන්ය.
මෙම පැමිණිල්ල කිහිප වරක් කැඳවුවද වගඋත්තරකරුවන් පෙනී නොසිටි අතර, නොවැම්බර් 27 වැනිදා කුරුඳුවත්ත පොලිසියේ වත්මන් ස්ථානාධිපතිවරයා මැදිහත් වී මෙම ගැටලුව සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබුණි. ඒ අනුව, පොලිස් නිලධාරීන් තමන්ගෙන් සමාව අයදින්නේ නම් සහ අධිකරණයේ පවරා ඇති පදනම් විරහිත නඩුව අවසන් කරන්නේ නම් තමන් සමථයට එකඟ වන බව කල්ප ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයැද සිටි අතර, මාධ්‍යවේදියාට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කළේය.
මෙම සමථය මත පදනම්ව පොලිසිය විසින් කල්ප ගුණරත්න මහතාට එරෙහිව පවරා තිබූ නඩුව පසුගිය 05 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී. එහිදී නඩුව පවත්වාගෙන නොයන බව පොලිසිය දැනුම් දුන් නමුත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පෙන්වා දුන්නේ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිසි ක්‍රමවේදයට අනුව ලිඛිත දැනුම් දීමක් සිදු කළ යුතු බවයි.
නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත ජනවාරි 26 වැනිදා කැඳවීමට නියම කළේය.

Our country needs more great journalists of your caliber. Best wishes!
ReplyDeleteහරිනම් වන්දි ඉල්ලා නඩු මගට බැසිය යුතුයි
ReplyDelete