“දිට්වා“ සුළි කුණාටුව නිසා සිදුවූ පූර්ණ නිවාස හානිද ඇතුළුව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන තිබෙන පවුල් 18,000ක් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් කැබලි 18,000ක් සොයා ගැනීමේදී ගැටලු තත්ත්වයන් උද්ගතව ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පදිංචි මෙම ජනතාව නැවත පදිංචි කිරීමේදී එම දිස්ත්‍රික්කවලින් ඉඩම් සොයා ගැනීම යම් සංකීර්ණ තත්ත්වයක් බවද, මහනුවර වැනි දිස්ත්‍රික්කවල ප්‍රමාණවත් තරම් රජයේ ඉඩම් නොතිබීමද ඊට හේතුවී ඇතැයි අමාත්‍යාංශ තොරතුරු පවසයි.
කෙසේ නමුත්, නැවත පදිංචි කිරීම් සඳහා මෙම දිස්ත්‍රික්ක පහටම අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ වනවිට හඳුනාගෙන තිබෙන බවද එම ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සඳහා යම් කෙටි කාලයක් ගතවනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.ජී.ධර්මතිලක පැවසීය. මෙම ඉඩම් අත්පත් කරගැනීමට අදාළ ආරම්භක කටයුතු මේ වනවිට සියයට 80 කට වඩා අවසන්කර ඇතැයිද ඔහු කීවේය.
ඉදිරියේදී නැවත නායයෑමේ අවදානමකට ලක්වීමේ ඉඩකඩ සහිත නිවාස 6,453 ක්ද ඇතුළුව නිවාස 12,171 ක් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන තිබෙන බවද අතිරේක ලේකම්වරයා පැවසීය. පසුගිය කාලසීමාව තුළදී සිදු කරන ලද විශේෂ පරීක්ෂණ පදනම් කරගෙන ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් නායයෑමේ අධි අවදානමක් සහිත නිවාස 3,157 ක්ද, ඉදිරියේදී නැවත නායයෑමේ අවදානමකට ලක්වීමේ ඉඩකඩ සහිත නිවාස 6,453 ක්, දිට්වා සුළි කුණාටුව නිසා මුළුමනින්ම විනාශ වූ නිවාස 2,561 ඇතුළුව නිවාස 12,171 ක් හඳුනාගෙන තිබෙන බවද ඔහු කීවේය.
නායයෑම් අවදානම් කලාපවල පදිංචි බවට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් මීට පෙරදී හඳුනාගෙන සිටි පවුල් 15,000 න් 5,000 ක් පමණ නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබූ බවද ඔහු පැවසුවේය. නායයෑම් අවදානම් සහිත ස්ථාන පරීක්ෂා කිරීමට අදාළව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයට අලුතින් ලැබී තිබෙන ඉල්ලීම් සංඛ්‍යාව 15,829 ක් බවද ඔහු කීවේය. නැවත පදිංචිකිරීම් සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා මුළු නිවාස ඉල්ලීම් 18,641 ක් ලැබී ඇතැයිද ඔහු පැවසුවේය.
පැරණි ඉල්ලීම්ද ඇතුළුව නිවාස පරීක්ෂා කිරීමට ඉල්ලීම් 32,000 ක් පමණ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයට ලැබී තිබෙන බවද අතිරේක ලේකම්වරයා කියා සිටියේය. ඉදිරි මාසයක් හෝ දෙකක් ඇතුළතදී එම සියලුම ස්ථාන ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කර අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. මේ වනවිට දැඩි අවදානමක් සහිත ස්ථාන ආවරණය කර අවසන් බවද ඔහු කියා සිටියේය.
සාලිය කුමාර ගුණසේකර
