වැලිවිටිය - දිවිතුර අධ්‍යාපන කොට්ඨාශයේ අම්පේගම කණිටු විදුහලේ විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුවට විරෝධය පල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් හා සටන් පාඨ කියමින් (23) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
ඇල්පිටිය බද්දේගම හරහා ගාල්ල මාර්ගය දෙපස පළමුවෙන් විරෝධතාවයේ නිරත වූ දෙමාපියන් පසුව පා ගමනින් අම්පේගම මෝල්පතන හන්දියට පැමිණ විරෝධතාවයේ නිරත විය.
අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අසාධාරණ ස්ථාන මාරුව වහා හකුලා ගනු, විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කරනු, නිශාන්ත මන්ත්‍රීතුමනි විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව නවතනු මැනවි, නිශාන්ත මන්ත්‍රීතුමනි අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා, ආදී සටන් පාඨ ලියූ විරෝධතා පුවරු දෙමාපියන් විසින් ප්‍රදර්ශණය කරමින් දෙමාපියන් විරෝධතාවයේ නිරත විය.
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පාසලක් වන ගා / අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා විශ්‍රාම යාමට වසර දෙකක් තිබියදී දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ස්ථාන මාරු කර තිබේ. විරෝධතාවය හේතුවෙන් ඇල්පිටිය ගාල්ල, ඇල්පිටිය කරාපිටිය, ඇල්පිටිය අලුත්වල හරහා ගාල්ල බද්දේගම අම්බලන්ගොඩ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් රැසක් අද (23) පෙරවරුවේ අඩාල විය. එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන්ගේ ප්‍රවාහන කටයුතු වලටද මේ හේතුවෙන් බාධා ඇති වු බව ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඇල්පිටිය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුබුදු මල්ලවආරච්චි මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.
වසර 10 කට වඩා වැඩි කාලයක් එක් විදුහලක විදුහල්පතිවරුන් ලෙස රැදි සිටි විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමට චක්‍රලේඛණයක් නිකුත් කර තිබෙනවා. මේ විදුහගේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර තිබෙන්නේ එම චක්‍රලේඛණය අනුවයි. එසේ නැතුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වෙනත් කිසිදු ගැටළුවක් නැහැ. මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කර තිබෙන්නේ දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනුයි.
ජයකාන්ත ලියනගේ
