අඛන්ඩ ඖෂධ සැපයුමක් නෑ.. ළමා රෝහලේ ජීවිත අනතුරේ..


බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක කුඩා දරුවන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක පවතින අඛණ්ඩ සැපයුම් අඩාල වීම හේතුවෙන් රෝගී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ රජයේ රෝහල්වල මෙම ඖෂධ නොමැති වීම නිසා බාහිර ෆාමසිවලින් ඒවා මිලදී ගැනීමට සිදුවීම හරහා දෙමාපියන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.

විශේෂයෙන්ම දරුවන්ගේ වලිප්පුව පාලනය සඳහා ලබාදෙන Ethosuximide වැනි ඖෂධවල පවතින හිඟය පිළිබඳව වෛද්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය. එවැනි ඖෂධයක් බාහිර වෙළඳපොළෙන් මිලදී ගැනීමට සිදුවුවහොත්, එක් දරුවකු වෙනුවෙන් මසකට ආසන්න වශයෙන් රුපියල් 30,000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ දුප්පත් දෙමාපියන්ට දැරිය නොහැකි බරක් බවත් ඔහු සඳහන් කළේය.

වලිප්පුවට අමතරව  ළමා හතිය (Asthma), වකුගඩු ආබාධ, විශේෂ සායන මගින් ලබාදෙන අනෙකුත් විශේෂිත ඖෂධවල ද හිඟයක් පවතින බව වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

මෙම අත්‍යවශ්‍ය ඖෂධවල සැපයුම අඩාල වීම දරුවන්ගේ රෝගී තත්ත්වයන් තවදුරටත් උත්සන්න වීමට සෘජුවම බලපාන බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. 

එම නිසා, පවතින ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් රජය කඩිනම් අවධානය යොමු කර, රෝහල් පද්ධතිය තුළ ඖෂධ සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Previous Post Next Post