සාලිය කුමාර ගුණසේකර
“දිට්වා’’ සුළි කුණාටු තත්ත්වය නිසා සිය නිවාස හානියට පත්වූවන්ට කුලී නිවාස සොයා ගත නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින බව අනාවරණය වේ.
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 6,198 ක් සහ අර්ධ නිවාස හානි 112,638 ක් මේ වනවිට වාර්තාවී ඇත.
නිවාස හානියට පත්වූවන් සඳහා රජයෙන් ලබාදෙන කුලී නිවාස දීමනාව ලබා ගැනීම සඳහා 8,998 ක් සුදුසුකම් ලබා සිටින බවද, කුලී නිවාස සොයා ගැනීමේ අපහසුතාව තිබෙන නිසා එම කාර්ය තරමක් ප්‍රමාදවී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.ජී. ධර්මතිලක පැවසීය.
කුලී නිවාස දීමනාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ අය අතුරින් පවුල් 1,018 ක් මේ වනවිට කුලී නිවාස ගතකර අවසන් බවද, එහි ප්‍රගතිය සියයට 11.3 ක් බවද අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
පූර්ණ නිවාස හානි සඳහා සුදුසුකම් ලත් අයගෙන් නිවාස 201 කට මේ වනවිට දීමනාව ගෙවා තිබෙන බවද, ඉඩම් ප්‍රශ්න ආදී ගැටලු නිසා එම ගෙවීම් තරමක් ප්‍රමාදවී තිබෙන බවද ඔහු කීවේය.
නිවාස හානි වූ අය අතුරින් තමන්ගේම ඉඩමක් තිබෙන අයට පළමුවෙන්ම මෙම වාරිකය ලබාදෙන බවද ඔහු පැවසුවේය. නිවසක් ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් තෝරාගෙන තිබෙනවා නම් ඔවුන්ට මෙම දීමනාව ලබාදෙන බව, පූර්ණ නිවාස හානි සිදුවූ අයට විශේෂයෙන් තමන්ගේ ඉඩමක් තිබේ නම් රුපියල් ලක්ෂ 20 ක පළමු වාරිකය ලබාදෙන බවද, එසේ නොමැති නම් රජයේ ඉඩමක් සොයාදී රුපියල් ලක්ෂ 20 ක වාරිකයක් ලබාදෙන බව, එසේ නැතිනම් නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙන බවත්, රුපියල් ලක්ෂ 50 දීමනාව එකවර ඔවුන්ට ලබාගැනීමේ අවස්ථාව තිබෙන බවද ඔහු කීවේය.
නැතහොත් අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සහිත ඉඩමක් මිලදීගෙන ඉතිරි කොටස ඉදිකර ගැනීමට ඉතිරි වාරික ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අතිරේක ලේකම්වරයා පැවසුවේය.
පූර්ණ හානි නිවාස සහ අර්ධ හානි නිවාස යථාවත් කරගැනීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 ටම රුපියල් බිලියන 41.6 ක් (හතළිස් එකයි දශම හය) වෙන්කර තිබෙන බවද, නැවත පදිංචිකිරීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 2.1 (දෙකයි දශම එකක්) වෙන්කර ඇතැයිද ඔහු පැවසීය.
