ලංවිම විසිරුවන ගැසට්ටුව සූදානම්.. වෘත්තීය සමිති හා පාලනාධිකාරිය සාකච්ඡාව උණුසුම්..

 


ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආයතනය විසිරුවා හැරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව, විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් එම මූලස්ථානයේදී පැවැත්විණි.

බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කැඳවා තිබූ මෙම හමුවේදී, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අටකින් යුත් ලිපියේ අන්තර්ගත මූලික කරුණු පිළිබඳව මණ්ඩලයේ සභාපතිවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

මෙහිදී අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජිත 'සාමූහික ගිවිසුම' සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැඩි විරෝධයක් පළ කළ අතර, වත්මන් කෙටුම්පත කිසිසේත් පිළිගත නොහැකි බව ඔවුන් අවධාරණය කළේය. 

මේ සම්බන්ධයෙන් විකල්ප යෝජනාවලියක් ඒකාබද්ධව සකස් කර ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා කළ දැනුම්දීමට සමිති නියෝජිතයෝ එකඟ වූහ. කෙසේ වෙතත්, ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවමත් පරස්පරතා පවතින බව වාර්තා වේ.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. විනිවිදභාවය සහ සියලු පාර්ශවයන්ගේ නියෝජනය සහතික කිරීම වෙනුවෙන්, වෘත්තීය සමිති එක්ව නම් කරන නියෝජිතයින් සිව්දෙනෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීමට සභාපතිවරයා යෝජනා කළේය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා තහවුරු කළේ, සංක්‍රාන්ති කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂණ මහතා මීට පෙර ප්‍රකාශ කළ පරිදි, ලංකා විදුලිබල මණ්ඩලය විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය ලබන පෙබරවාරි 28 වැනිදා නිකුත් කරන බවයි

Previous Post Next Post