ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දැවැන්ත හමුදා ප්‍රහාරයක් ආරම්භ කර ඇති අතර, මෙය "ප්‍රධාන යුද මෙහෙයුමක්" බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් ප්‍රකාශ කළේ මෙය ඉරානයෙන් එල්ල විය හැකි තර්ජන වැළැක්වීම සඳහා එල්ල කළ Pre-emptive ප්‍රහාරයක් බවයි.
ඉරාන මාධ්‍ය වාර්තා කරන පරිදි අගනුවර වන තෙහෙරානය ඇතුළුව ඉස්ෆාහන් , කොම්, කරාජ් සහ කර්මන්ෂා යන නගර පහක ප්‍රබල පිපිරීම් හඬ ඇසී ඇත. තෙහෙරාන් අහස දුමාරයෙන් වැසී ඇති බවත්, ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දිව යන බවත් විදේශීය පුවත් සේවා වාර්තා කරයි. මෙම මෙහෙයුම මගින් ඉරානයේ මිසයිල කර්මාන්තය සහමුලින්ම විනාශ කරන බවට ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව තහවුරු කළේය. මේ හේතුවෙන් ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සිරේන් හඬ නාද වී ඇති අතර ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ඇත.
මේ අතර, ඉරානයේ ප්‍රධාන රාජ්‍ය පුවත් වෙබ් අඩවි රැසක් දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව අක්‍රිය වී ඇති බවද වාර්තා වේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම මෙහෙයුම "සිංහ ගර්ජනාව" ලෙස නම් කර ඇති අතර, ඉරාන පාලන තන්ත්රය සතු න්‍යෂ්ටික තර්ජනය තුරන් කිරීම මෙහි අරමුණ බව පැවසීය. ජනාධිපති ට්‍රම්ප් සිය වීඩියෝ පණිවිඩයක් මගින් ඉරාන වැසියන්ගෙන් ඉල්ලා සිටියේ තම රජය පෙරළා දමා පාලනය අතට ගැනීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙසයි.
පසුගිය ජුනි මාසයේදීද ඊශ්‍රායලය සහ ඉරානය අතර දින 12 ක යුද්ධයක් පැවති අතර, ඉන් ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති වලට දැඩි හානි සිදුවිය. පවතින තත්ත්වය හමුවේ ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම තම ගුවන් සීමාවන් සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා ඇත.

ඉක්මනට තෙල් ගහගනිල්ලා . ලෝක යුද්දේ පටන් ගත්තා
ReplyDelete