වතු කම්කරුවන් තේ වතු රස්සාව අතහරිති...

 


වතු සේවකයන් ශීඝ්‍රයෙන් ක්ෂේත්‍රය හැරයාම හේතුවෙන් මෙරට තේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියේදී බරපතළ කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් මතු වී තිබේ. 

හිටපු වතු වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු ද වන පී. පී. දේවරාජ් මහතා පෙන්වා දෙන්නේ, දෛනිකව අතට මුදල් ලැබෙන විකල්ප රැකියා කෙරෙහි වතු ජනතාව වැඩි උනන්දුවක් දක්වන බවයි.

දිනකට රුපියල් 2000ත් 3000ත් අතර වැටුපක් උපයාගත හැකි ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වෙළෙඳ සහායක සේවා සඳහා සේවකයන් වැඩි වශයෙන් යොමු වෙමින් පවතී.

එළවළු වෙළෙඳාම වැනි ස්වයං රැකියාවල නිරත වීමෙන් දිනපතා මුදල් ලැබීම, තේ වතු හැරයාමට තවත් ප්‍රධාන හේතුවකි.

වතු සේවකයන්ගේ දරු පරපුර ද මෙම සාම්ප්‍රදායික වෘත්තියෙන් ඉවත් වීම හේතුවෙන් ඉදිරියේදී දැඩි සේවක හිඟයක් ඇතිවිය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

මෙම තත්ත්වය තුළ දලු නෙළීමේ කටයුතු අඩාල වීමේ තර්ජනයක් මතුව ඇති බව දේවරාජ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා ප්‍රකාශ කළේ, වතු සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් ඇති කරගත් එකඟතාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. එම වැටුප් වැඩිවීම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සේවක සුබසාධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ද ඔහු අවධාරණය කළේය.

1 Comments

Previous Post Next Post