සුළි කුණාටුව මෙරටට බලපෑම් කර මාස දෙකකට අධික කාලයක් ගතවී ඇතත්, ඉන් සිදු වූ හානිය පිළිබඳ පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුව සම්පූර්ණ කිරීමේ කටයුතු රජය තවමත් සිදු කරමින් පවතින බව වාර්තා වේ.
ආපදාවෙන් විනාශ වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය වන 'ප්‍රතිස්ථාපන පිරිවැය' නිශ්චිතව ගණනය කිරීම සඳහා මෙම තක්සේරුව අත්‍යවශ්‍ය වේ.
පසුගිය 2025 නොවැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවට කඩාවැදුණු ඩිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් හටගත්තේය. මේ හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය, වාරි පද්ධති, මහාමාර්ග, විදුලිබල යටිතල පහසුකම්, දුම්රිය මාර්ග සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදු විය.
ලෝක බැංකුවේ ඇස්තමේන්තුවට අනුව මෙම හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් පමණ වේ. කෙසේ වෙතත්, හානියට පත් දේපළ යළි ස්ථාපනය කිරීම සඳහා වැය වන පිරිවැය මීට වඩා බෙහෙවින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හානියට පත් අංශ 12ක් යටතේ දැනට මෙම අවශ්‍යතා තක්සේරු කිරීම සිදු කෙරේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමට පෙර නිවැරදි පිරිවැය හඳුනා ගැනීම රජයේ අරමුණයි.
මීට අදාළව මුදල් අමාත්‍යාංශය වෙත තාක්ෂණික සහාය ලබා දීම සඳහා ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ සංවිධානය
යුරෝපා සංගමය ආසියානු සංවර්ධන බැංකුව ආයතන එක්ව සිටියි.
මෙම ක්‍රියාවලිය පිළිබඳව දන්නා ආරංචි මාර්ග සඳහන් කරන්නේ, හානිය පිළිබඳ ප්‍රධාන සොයාගැනීම් ඇතුළත් වාර්තාව මෙම පෙබරවාරි මස මැද භාගය වන විට සූදානම් වනු ඇති බවයි.
"ඉන් අනතුරුව, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගන්නා ආකාරය පිළිබඳව රජය තීරණය කළ යුතුයි," යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
