බුදු පිළිම වල නළලේ ඌර්ණ රෝමධාතු සොරා ගනී..

 


බුදු පිළිම වල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා නාවලපිටිය පොලිසියේ විහාරස්ථාන රැසක බුදු පිළිම වල ඌර්ණ රෝමධාතුව සොරාගෙන ගොස් ඇති බවත්, අවසන්වරට ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙකු නාවලපිටිය කැටපුලාව විහාරස්ථානයේ බුදු පිළිමයේ නළල කඩා රනින් නිමවා තිබූ උර්ණ රෝම ධාතුව රැගෙන ගොස් ඇති බවට එම විහරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් නාවලපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත එම විහරස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ විමර්ෂණයක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසියේ නිළධාරින් සමත්ව ඇත.

පිළිමතලාව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 45-50ත් අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් දෙදෙනා දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වෙත ගොස් බුදු පිළිමයේ හිසට හානි කර ඌර්ණ රෝමධාතු වලින් ලබා ගත් බවට සැක කෙරෙන උණුකර තිබූ රන් පවුම් 30ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා එසේ ලබා ගන්නා රත්‍රන් කුරුණෑගල සහ පිළිමතලාව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි කරන පෞද්ගලික ආයතනයක් වෙක ගොස් එසේ ලබා ගත් රත්‍රන් උණු කර ඇති බවයි පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මෙම හොරකම සිදු කිරිමට භාවිත් කරන ලද ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post