ප්‍රමාද වෙමින් පවතින උසස්වීම් ගැටලුවට කඩිනම් විසඳුම් ඉල්ලා රේගු වෘත්තීය සමිති සන්ධානය දැඩි අනතුරු ඇඟවීමක් කර සිටියි.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු නිලධාරීන්ගේ සංගමය එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය අරගලයකට අවතීර්ණ වන බවයි.
2020 වසරේ පෙබරවාරි 13 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටිය (SOR), වසර හයක් ගතවී ඇතත් මෙතෙක් පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත.
නිසි වැටුප් වර්ධක හෝ නිල උසස්වීම් රහිතව වුවද, පසුගිය හය වසර පුරාම සේවා අවශ්‍යතාව මත ඉහළ තනතුරුවල වගකීම් දැරීමට නිලධාරීන් කටයුතු කර තිබේ. රේගු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ සිය ආදායම් ඉලක්ක අභිබවා යාමට ප්‍රධානතම හේතුව වූයේ නිලධාරීන්ගේ මෙම කැපවීම බව සන්ධානය අවධාරණය කරයි.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ තමන් ඉල්ලා සිටින්නේ නව වරප්‍රසාද නොව, පවතින නීතිමය පටිපාටියට අනුව හිමිවිය යුතු වැටුප් සහ උසස්වීම් නියමිත දිනට ලබාදීම පමණක් බවයි.
රේගු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමෙන් මෙරට ආර්ථිකයට, ව්‍යාපාරික ක්ෂේත්‍රයට මෙන්ම පොදු මහජනතාවට ද බරපතළ දුෂ්කරතා ඇතිවිය හැකි බව එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
එබැවින්, එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් එහි සම්පූර්ණ වගකීම සිය වගකීම් පැහැර හරිමින් කටයුතු කරන බලධාරීන් සතු විය යුතු බව වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

රේගුවේ ඉන්න හැමෝම අවුරුදු පහෙන් හයෙන් කෝටිපතියො වෙන්නෙ කොහොමද කියල හොයල බලන්නත් වෙනවා.
ReplyDeleteහා
Delete